කතරගම ක්ෂත්‍රීයයන්
ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ රචිත මහාවංශය මේ වන විට ලක්දිව ඉතිහාසය හැදෑරීමේ ප්‍රධාන සාහිත්‍යය මූලාශ්‍රය බවට පත් ව ඇත.මෙතෙක් තහවුරු කර ගත් තොරතුරු හා සසඳා බලන විට මෙහි නිරවද්‍යතාවය අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍ර වලට සාපේක්ෂව සත්‍ය වී තිබීම මීට හේතුව බව පෙනේ. කතරගම ක්ෂත්‍රීයයන් පිළිබඳ මුල් වරට සඳහන් වන්නේ මහාවංශය දක්වන ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයේ දී ය. එසේ ම අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේලා රෝපණය කළ ස්ථාන දක්වන විට කතරගම විශේෂයෙන් සඳහන් වේ.
මේ හැරෙන්නට කතරගම ක්ෂත්‍රීයයන් පිළිබඳ තොරතුරු සඳහන් වන තවත් වැදගත් එක් මූලාශ්‍රයක් වන්නේ ධාතු වංශය යි. නමුත් මෙම ග්‍රන්ථයේ කාළ නිර්ණය අතිශය අසීරු කරුණක් වන අතර රචනා කර තිබෙන්නේ කකුසඳ නැමැති තෙර නමකි. නමුත් මහාවංශයේ අඳුරු තැන් රාශියක් මෙම ග්‍රන්ථය තුළින් හෙළි කොට තිබීම සුවිශේෂී වේ.
කතරගම වනාහි මහවැලි ගඟ ඇසුරු කොට ගෙන බිහි වූ ජනපදයකි. බෙන්තර ගෙඟෙන් හා මහවැලි ගෙඟෙන් සීමා වූ රෝහණයේ ප්‍රධාන ජනපදයක් වශයෙන් මෙය පැවතිණි. (රෝහණය ක්‍රි.පූ 2 වන සියවසේ දෙවනපෑතිස් රජුගේ සොයුරු මහා නාගගෙන් ඇරඹෙන අතර මෙහි ප්‍රාදේශීය පාළණ ඒකක වූ බව සිහි තබා ගත යුතු ය.) සමකාළයේ ප්‍රධාන රාජධානිය වශයෙන් පැවති අනුරාධපුර අග නගරයෙන් තරමක් දූරස්ථ ප්‍රදේශයක් වශයෙන් පැවති මෙය ස්වාධීන පාළණ ඒකකයක් වශයෙන් සකස් වීමෙහි ලා මෙකී දූරස්ථ බව මහඟු පිටු වහලක් වන්නට ඇත.මෙවැනි පාළණ ඒකක විශාල ප්‍රමාණයක් මුල් කාළයේ පැවතිණි. එනම්,
"වව්නියා දිස්ත්‍රික්කයේ වර්තමාන පෙරියපුලියන්කුලම අවට පැවති ඒකකය, අනුරාධපුරයෙන් සැතපුම් 30ක් පමණ වයඹ දිගින් පිහිටි වර්තමාන ඔච්චාප්පුකල්ලු අවට පැවති ඒකකය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ලෙනගල හා යටහලෙන කේන්ද්‍ර කොටගෙන පැවති ඒකකය, මහවැලි ගෙඟේ ඉහල නිම්නය හා වර්තමාන මහනුවර-තෙල්දෙණිය මාර්ගයේ මහනුවරට සැතපුම් 18ක් පමණ දුරින් පිහිටා තිබූ බඹරගල හා එතැනින් සැතපුම් 10ක් පමණ ඈතින් පිහිටි ගෝනවත්ත කේන්ද්‍ර කොටගෙන පැවැති ඒකකය, මධ්‍ය කඳුකරයේ උතුරු ප්‍රදේශයේ ඇඹුල්අඹේ මුල් කොට ගෙන පැවති ඒකකය, සීගිරිය ආසන්නයේ පිදුරංගල මුල් කොට පැවති ඒකකය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රංගිරිමඩ හා හීපව්ව ආශ්‍රිත ඒකකය, රුහුණේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔයට උතුරින් බෝවත්තේගල ආශ්‍රිතව පැවති ඒකකය, කුඹුක්කන් ඔයේ සැතපුම් කීපයක් ඉහලින් වූ කොටාදැමූහෙල මුල් කොට පැවති ඒකකය, කතරගමට උතුරින් කුසලාන්කන්ද, මොට්ටයකල්ලු, හෙන්නානිගල, කල්උඩුපොතාන ආදී ස්ථාන ආශ්‍රිතව පැවති ඒකකය, කිරිඳි ඔය නිම්නයේ බලහුරුකන්ද හා වලවේ නිම්නයේ කිරමකුගොල්ල ආශ්‍රිත ඒකකය, පොළොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල ආශ්‍රිත ඒකකය, බදුල්ල දිස්ත්‍රික්කයේ බින්තැන්න කෝරළයේ මයියංගනයට නුදුරින් ඔලගම්පල ආශ්‍රිතව පැවති ඒකකය, මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල කෝරළයේ කොල්ලදෙණිය මුල් කොට පැවති ඒකකය" වශයෙනි.
කෙසේ වෙතත් කාචරග්‍රාමයේ ක්ෂත්‍රීයයන් හැරුණු විට චන්දනගාමයේ හෙවත් සඳුන්ගම ක්ෂත්‍රීයයන් පිළිබඳවත් වංශකතා විස්තර දක්වන අතර සඳුන්ගම ක්ෂත්‍රීයයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු කළ හැකි සාධක මෙතෙක් ලැබී නොතිබීම බලවත් අඩු පාඩුවකි. (ඇතැම් විචාරකයන් බෝවත්තේගල සඳුන්ගම බව කිව ද එය ගැටළු සහගත ය.) චන්දනගාමය සම කාළය වන විට කතරගම ක්ෂත්‍රීයයන්, තිවක්ක බමුණුගම පාළක තරම් වැදගත් ස්ථානයක් හෙබ වූ බව පැහැදිලි ය.
කෙසේ වෙතත් මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහස වන්නේ මහාවංශය සඳහන් කරන කතරගම ක්ෂත්‍රීයයෝ වනාහි ධාතු වංශය හා ශිලා ලේඛණ සඳහන් කරන කතරගම දස බෑ රජුන් බවයි. ධාතු වංශය මෙය අරඹන්නේ ගෝඨාභය රජුගේ කතරගම දස බෑ රාජ්‍ය සංහාරය පිළිබඳ සඳහන් කරමිනි. ඒ ගෝඨාභය රජු රෝහණය එක්සත් කළ විස්තරයේ දී ය. රජු කතරගම දස බෑ රජුන් මරවා ඊට දඬුවම් පිණිස විහාරාරාම රාශියක් කරවීය.
1. ගෝඨාභය විහාරය
2. හත්තොට්ඨ නම් ජනපදයෙහි මත්තිකා ලෙන නම් විහාරය
3. ඛිරසාල විහාරය
4. නාග පබ්බත විහාරය
5. කුම්භසේල විහාරය
6. න්ත් විහාරය
7. චේතිය පබ්බත විහාරය
8. දාන පබ්බත විහාරය
9. කණිකාර සේල විහාරය
10. අම්බසෙල විහාරය
11. තින්දුක ලෙන විහාරය
12. කාරදණ්ඩක ලෙන විහාරය
13. ගෝඨලපබ්බත විහාරය
14. ගෝඨසාලක විහාරය
15. වාලුකා තිත්ථ විහාරය
යනුවෙනි. මේ පිළිබඳ විමසන විට සිහිවන්නේ දුටු ගැමුණු රජු ද්‍රවිඩ සංහාරය නිසා ඇති කරගත් සිත් කනස්සල්ලත්, ධර්මාශෝක රජුගේ දිග් විජය ප්‍රතිපත්තිය නිසා ඇති වූ මිනිස් සංහාරය නිසා (කාළිංග යුද්ධය) කර වූ 84000ක් වෙහෙර විහාරත් ය.
මෙම කතරගම ක්ෂත්‍රීයයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක ව තහවුරු වී තිබීම සුවිශේෂී සිද්ධියකි. පැරණී රෝහණයට අයත් පෙදෙසින් ම මේ පිළිබඳ එන ශිලා ලිපි හමු වී තිබීම මහාවංශ කියමන සනාථ කර දක්වයි. මෙහි දී සුවිශේෂී වන ශිලා ලිපි කීපයකි.
"දමරඣ පුත මහතිශ අයහ ඣිත අබි ශවෙරය රඣමතය
පචින බුමිය මහ ශුදශනෙ නම ලෙණෙ අගත
අනගත චතුදිශ ශගශ නියතෙ."
(දමරජුගේ පුත් මහාතිස්සගේ දියණිය වූ, පශ්චිම
භූමියේ රජුගේ මාතාව වූ අබිශවෙරයගේ
මහා ශුදර්ශන ලෙණ පැමිණි නොපැමිණි
සිව් දිග සංඝ්‍යාට නියතයි.)
-මාදනහෙල ලෙන් ලිපි-
ලක්දිව ප්‍රාදේශිය පාළණ ඒකක පිළිබඳ විමසන විට මෙවැනි ලිපි අතිශය වැදගත් වේ. සාහිත්‍යය ලිපි වල කරුණු තහවුරු කර ගැනීමට මෙවැනි ලිපි වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම හේතුවයි. ඉහත ලිපිය වැදගත් වන්නේ සාහිත්‍යය මූලාශ්‍ර නොකියන ඉතිහාසයක් ඉදිරිපත් කරන නිසාවෙනි. මෙම ලිපියට අනුව 'දමරජුගේ' පුත් වනුයේ 'මහා තිස්ස' ය. ඔහුගේ දියණිය වන්නේ 'අබි ශවෙරය' කුමරිය යි. ඈ 'පචින බුමිය රජ මාතා' ලෙසින් ද හඳුන්ව යි. මෙහි 'දමරජු' කවරෙක්ද? එය විමසීමේ දී පහත ලිපිය වැදගත් වේ.
"ගමිණි පුතෙ දශ බතිකන ජෙට ශව ජෙටහ පුතෙ
දමරජ දමරජහ පුතෙ මහතිශ අයෙ කරිතෙ ඉම
ලෙණෙ මහ ශුදශන ශගශ දිනෙ"
(ගාමිණීගේ පුතුන් වූ දශ බෑයන්ගේ ජ්‍යෙෂ්ටයාගේ
පුත්‍රයා වූ දම රජුගේ පුතු මහා තිස්ස කුමරු විසින්
කරන ලද මහා සුදර්ශන ලෙණ සංඝ්‍යාට පුදන ලදි)
-බෝවත්තේගල විහාර ලිපි-
ඉහත දක්වන ලද ආකාරයට 'දමරජුගේ' මුත්තනුවන් වනුයේ 'ගාමිණී' ය. පියා දශ බෑයන්ගෙන් වැඩිමලා ය. 'දමරජුගේ' පුතා 'මහා තිස්ස' ය. මෙහි එන 'ගමණි' නාමය තරමක් සුවිශේෂී වේ. එය වනාහි ප්‍රධාන රාජ්‍ය පාළකයෙකු වෙනුවෙන් යොදන ලද්දකි. ඒ අනුව මෙහි පැහැදිලිවම රාජකීය පවුලක් පිළිබඳ සඳහන් වන බව පැහැදිලි ය. 'ගාමිණී' ට පුතුන් දස දෙනෙකි. 'දශ බෑයන්' (සොයුරෝ දස දෙනා) වශයෙන් ඔවුන් හැඳින් වේ. ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයට පැමිණි කතරගම දස බෑ රජුන් මොවුන් තහවුරු කොට ඇත. පෙර දක්වන ලද ලිපියෙහි දස බෑයන්ගේ ප්‍රධානියා වශයෙන් 'ශෙව ජෙට' දක්වා තිබේ. 'දම රජු' වනාහි ඔහුගේ පුතා ය. මේ පිළිබඳ තවත් වැදගත් ලිපියකි මේ,
"ගාමිණි පුතෙ රඣ උති රඣ උති පුත
අය අබයශ ඣිත අබි අනුරදිය"
(ගාමිණීගේ පුත් උත්තිය රජුගේත්
උත්තිය රජුගේ පුත් අය අබයගේත්
දියණිය අබි අනුරදීගේ ත් ය.)
-බෝවත්තේගල ලෙන් ලිපි-
මෙම ලිපියට අනුව 'ගාමිණී'ට 'උත්තිය' නමින් ද පුතෙකු විය. මොහු දශ බෑයන්ගෙන් අයෙක් හැටියට ද සිතිය හැක. 'උත්තිය' ගේ පුතා 'අභය' වන අතර ඔහුගේ දියණිය 'අනුරාධා' ය. ඒ අනුව 'දම රජු' වශයෙන් දස බෑයන්ගෙන් වැඩිමලා හඳුන්වා දිය හැකි ය. 'දම රජු' ගේ පුතා 'මහා තිස්ස' ය. ඔහුගේ දියණිය 'අබි ශවෙරය' වේ. ඕ 'පචින බුමිය රජ මතය' ලෙස ද හඳුන්වයි.
මෙහි එන 'පචින බුමිය රජ' වැදගත් ය. 'පචින බුමිය' යනු 'ප්‍රාචීන භූමි' යන සකු වදනින් බිඳී ආවකි. අරුත 'නැගෙනහිර ප්‍රදේශය' යි. මේ අනුව මෙය රෝහණය හැඳින්වීම පිණිස යොදන ලද නාමයක් බව පැහැදිලි ය. ඒ අනුව 'රෝහණයේ පාළකයා' 'පචින බුමිය රජ' වේ. එකල 'පොචින රජ' හෝ 'පචින රජු' යනු ද මේ මය. බඹරගල ලෙන් ලිපියක 'පචින රජ නග' වශයෙන් සඳහන් ව තිබෙන්නේ 'මහා නාග උප රජු' බව පැහැදිලි ය. ඔහුගෙන් පසු මෙම නම 'යටාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස, දුටු ගැමුණු හා සද්ධාතිස්ස' යන අයට පිළිවෙළින් අයත් විය. මේ අනුව 'පචින බුමිය රජ මතය' යනු 'නැගෙනහිර හෙවත් රුහුණු පාළකයාගේ මව' හැඳින්වීමට යොදන ලද්දක් බව පෙනේ. ඉහත දක්වන ලද ලිපි වලට අනුව 'අබි ශවෙරය' යනු මෙම 'රෝහණ පාළකයාගේ මව' යි. ඕ 'තිස්ස' ගේ දියණිය යි. මාදනකන්දේ එන 'අබි ශවෙරය' යනු 'විහාර මහා දේවිය' බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහසයි. දැනට විද්‍යාමාන ද්විතීයික මූලාශ්‍ර වලට අනුව එය පිළිගත හැකි සත්‍යයක් බව පෙනේ. 'අබි ශවෙරය' ගේ පියා 'මහා තිස්ස' ය. මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලද බොහෝ ඉතිහාසඥයන්ගේ මතය වන්නේ කැළණියේ පාළකයා 'මහා තිස්ස' වශයෙන් හඳුනා ගත හැකි බව යි. එ් අනුව 'අබි ශවෙරය' යනු වංශකතා වල එන 'දේවී' කුමරිය යි. බෝවත්තේගල ලිපියක 'උත්තිය' නැමැති රජෙකු පිළිබඳව ද දක්වා තිබේ. හෙතෙම දශ බෑයන්ගෙන් කෙනෙකි. (කැළණිතිස්ස රජුගේ බිසව සමඟ අනියම් සබඳතාවයක් ඇති කර ගත් උත්තිය විය හැක.)
මීට අමතර ව මුණ්ඩිකුලම්මලේ ලිපියක එන 'ශවෙර ශමනිය' යනු 'විහාර මහා දේවිය' බව පිළිගැනේ. මෙම නාමය මිහින්තලේ ලිපියක ද දක්නට ඇත. ඇතැම් විට 'විහාර මහා දේවිය' සිය ජීවිතයෙහි අවසාන කාළයෙහි ගිහි සැපත් අතැර පැවිදි වූ බව සිතන්නට හේතු නැත්තේ ම නොවේ. 'ශවෙර ශමනිය' වශයෙන් හඳුන්වන්නට ඇත්තේ පැවිදි වූ පසු විය හැක.



No comments:
Post a Comment