Saturday, February 15, 2014

පුරාණ අනුරාධපුරය

                                     අනුරාධපුරය

                  සියවස් 15ක් පමණ කාළයක් පැවැති අනුරාධපුර රාජධානියේ අග නුවර ලෙස පැවතියේ අනුරාධපුරයයි. ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් ද, ශිෂ්ටාචාරයක් ද බිහි කළ අනුරාධපුරය සියලු අංගෝපායන්ගෙන් සපිරුණු නගරයක් ලෙසින් ද කීර්තියට පත් විය. මෙම පැරණි අග නගරය වර්තමානයේ බෞද්ධයින්ගේ පරම පූජනීයත්වයට පත් වූ විහාරාරාම වලින් සමන්විත වන අතර එය වර්ග සැතපුම් 16 ක හෙවත් වර්ග කිලෝමීටර් 40 ක භූමි භාගයක පැතිරී ඇත.

       අනුරාධපුරය එම නමින් ප්‍රකට වීමට පුද්ගලයන් කීප දෙනෙකුගේ ම ක්‍රියාවන් ඉවහල් වූ බව කිව යුතු ය. අනුරාධ නැමැති අමාත්‍යවරයා ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. විජය කුමරුන් සමග ඉන්දියාවේ සිට පැමිණි ඔහු ක්‍රි.පූ. 6 වන සියවසේ දී මල්වතු ඔය (කදම්භ නදී) ඉවුරු බඩ ඔහුගේ නමින් ජනාවාසයක් ඇරඹුවේ ය. ඔහුට අමතර ව අනුරාධ නම් වූ තවත් එක් කුමාරයෙක් ද මෙම ජනාවාසයේ නායකයා වී තිබේ. ඔහු විසින් කරවන ලද වැවක් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මේ පිළිබදව සිංහල මහාවංශය විස්තර කරන්නේ මෙලෙසිනි.
            “නිමිත්ත ශාස්ත්‍ර දන්නවුන් ද එසේ ම වාස්තු විද්‍යා දන්නන් ද විචාරවා ඒ ගම්හිම උතුම් නුවරක් ඉදි කරවී. (විජය කුමරු ඇමති වූ ද භද්‍රකතළ්‍යායන බිසවුන්) බෑ වූ ද අනුරාධයන් දෙදෙනාගේ නිවාස හෙයින් ද අනුරේ නකතින් පටන් ගත් හෙයින් ද අනුරාධපුර නම් වී.”
            අනුරාධපුර නගරයේ සංවර්ධනය සදහා බොහෝමයක් රජවරුන්ගේ දායකත්වය හිමි වීම ප්‍රසිද්ධ කරුණකි. එසේ වුව ද එය අග නගරය කොට මනා සැළැස්මකින් කටයුතු කළ පණ්ඩුකාභය රජුගේ ක්‍රියා කළාපයන් පිළිබද වෙසෙසින් සලකා බැලිය යුතු ය. හෙතෙම නගරය පමණක් නොව අවට පරිසරය ද ක්‍රමානුකූල ව සැකසීමට මහත් වෙහෙසක් දැරුවේ ය. මෙය,
                        “ජය ලත් කළ දිය නෑ හෙයින් ජය වැව යැයි නම් වී. නුවරට නැගෙනහිර කාළවේල යක්ෂයා පිහිට වී. හෝ කාළවේල යකු දෙවොල ඉදි කළේ ය. ඒ චිත්‍රරාජ යකු අභයවාපී යට භාගයෙහි වාසය කරවී ය. යක්ෂ යෝනියෙහි උපන්නා වූ පූර්වෝපකාරී එම දාසිය නුවර දකුණු දිග් දොර කෙළෙහි ගුණ දන්නා ඒ තෙම වාසය කරවී. වළවාමුඛ යකිනි රජ ගෙවුයන් ඇතුළත වැස් වී. උන්ට ද අන්‍යයන්ට ද අවුරුදු පතා බලි දානය කරවී. නකත් කෙළි දවස් හි දී ඒ පණ්ඩුකාභය රජ තෙමේ චිත්‍රරාජයා සමග සම අස්නෙහි හිද දෙව් මිනිස් නැටුම් කරවමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇල වී. දොරගම් සතරද අබා වැව ද එසේ ම මහත් සොහොන් භූමිය හා දම් ගෙඩිය හෝ වාසස්ථානය ද බටහිර රැජින ද වෙසවුණුයා (දෙවොල) ද වැදි දෙවියා තල් (දෙවොල ද) සභාග වස්තුව ද ප්‍ර‍භ්‍ෙද ගෙය ද යන මෙතෙක් දෑ බටහිර දොර දිශා භාගයෙහි ඒ රජ තෙම පිහිට වී. නගර ශෝධන පන්සියයක් සැඩොල් මිනිසුන් ද වර්චස්ශෝධක දෙවිස්සක් සැඩොල් පුරුෂයන් ද මළ මිනී බැහැරගෙන යන්නා වූ එක්සිය පණසක් සැඩොලුන් ද එතෙක් ම (එක්සිය පණසක්) සොහොන් ගොවු සැඩොලුන් ද සොහොනින් වයඹ දිග උන්ගේ ගම් ද පිහිට විය. ඒ මිනිසුන් විධි වූ පරිද්දෙන් ඒ කර්මයන් කළාහු ය. ඒ සැඩොල් ගමට ඊසාන දිග් හි නීච සුසාන යැයි නම් ලත් සැඩොලුන්ගේ සොහොන කරවී. ඒ සොහොනින් උතුරු දිග පහන් පව් අතර වැද්දන්ගේ ගෙවල් පෙළ සිටුවන ලද්දේ විය. ”
    මහාවංශයෙහි එලෙසින් දැක් වුව ද පණ්ඩුකාභයට මෙසේ මෙම නගරය ක්‍රමානුකූලව නිර්මානය කිරීමට අනුරාධ ඇමති විසින් කර තිබූ කාර්යයන් ද ඉවහල් වන්නට ඇත. කෙසේ වෙතත් මල්වතු ඔය (කදම්භ නදී) ආශ්‍රිතව පිහිටා ඇති මෙම නගරය මෙලෙසින් ඔයක් ඇසුරු කරගෙන පිහිටා තිබීමත් නගරයේ දියුණුවට හේතු වන්නට ඇත. සේන-ගුත්තික යන ආක්‍රමණිකයින් දෙදෙනා විසින් මල්වතු ඔය නගරය වටා ගෙන ගිය බව කියැ වේ. ඊට හේතුව ඔවුන් ජෛනයන් වීමත්, ජලය ජෛන ආගමේ පාරිශුද්ධ වස්තුවක් වීමත් ය.
                            ඉහතින් දක්වා ඇති කරුණු කාරණා වලට අමතර ව මහින්දාගමනයෙන් පසුව ලක්දිව සියලු අංශයන් තුළ විශාල වෙනසක් සිදු කිරීමට සමත් වූ දර්ශණයකුත්, එම දර්ශණයේ ප්‍රමුඛ මධ්‍යස්ථානය ලෙසත් අද ද ජනාදරයට පත්ව තිබෙන “මහා මේඝ වන” හෙවත් “මහමෙව්නා උයන” කරවන ලද්දේ ද පණ්ඩුකාභයගේ පුත් මුටසීව විසිනි. ලංකාවට බුදු දහම රැගෙන එන ලද්දේ ඔහුගේ පුත් තිස්ස රාජ්‍යය සමයේ දී ය. එනම් සම්බුද්ධ පරිණිර්වාණයේ සිට වසර 236 කට පසුව ය.
        අනුරාධපුර නගරය ගිණිකොන හා වයඹ යන වරායවල් මධ්‍යයේ පිහිටියකි. නගරය ප්‍රධාන වීථි තුනකින් සමන්විත වූ අතර ඒ වටා වූ ඝණ කැලෑව ආරක්ෂාව අතින් බොහෝ උපකාරී විය. බොහෝ ඈත අතීතයේ දී පවා එහි ජීවත් වූ ජනයා මැටි භාජන පරිහරණය කළ බවට ද, සතුන් යොදාගෙන වී ගොවිතැන් කළ බවට ද සාධක හමු වී තිබේ. ඇතුලු නුවර කළ කැනීම් වලට අනුව , එම තොරතුරු වලට අමතර ව ආදී වාසීන්ගේ තවත් තොරතුරු සමඟ ක්‍රි.පූ. 900 පමණ කාළයේ දී දියුණු ලෝහ ශිල්ප ක්‍රමයක් ද තිබූ බව අනාවරණය වීම විශේෂිත ය. මේ පිළිබඳ විමසීමේ දී ශිරාන් දැරණියගල මහතාගේ කැනීම් ප්‍රධාන තැනක් ගනී.
                            අනුරාධපුර රාජධානිය වසර 1400 ක් පමණ වූ අතිශය දීර්ඝතම රාජධානිය යි. පණ්ඩුකාභයගේ පටන් 5 වන මිහිඳු දක්වා රජවරු 150 කට අධික සංඛ්‍යාවක් අනුරාධපුර අග නගරය කොටගෙන රජකම් කර තිබේ. ඇතැම් විට මෙම රාජධානියේ සිංහල බෞද්ධ රජවරුන් සේ ම විදේශීය ද්‍රවිඩ රජවරු  (උදා:- සූරතිස්ස රජු මරා රජ වූ සේන-ගුත්තික අශ්ව වෙළෙඳුන් දෙදෙනා, අසේල කුමරු මරා රජ වූ එළාර) බොහොමයක් විය. එකල වන විට මෙසේ විදේශීය බලපෑම් ලංකාව කෙරේ එල්ල වීමට ප්‍රධාන හේතුවක් වූයේ එකල වුව ද ලක්දිව වටිනාකම ඔවුන් ද විශේෂයෙන් දැන සිටීම විය හැක. ඇතැම් විට සෞභාග්‍යමත්, ධනවත්, ආඪ්‍ය රාජ්‍යයක් වශයෙනුත්, දකුණු ඉන්දියාව පවා තරමක් පාළණය කළ හැකි වීමත්, පෙරදිග ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වීමත් ලක්දිව කෙරේ විදේශ බලපෑම් ඇති වීමට හේතු වූ බව පෙනේ.
                    ලංකා ඉතිහාසයෙහි අතිශය සමෘද්ධිමත් යුගය වශයෙන් අනුරාධපුර රාජධානි සමය පවතින විට එයට නා නා විධ වූ තර්ජනයන්ට මුහුණ පෑමට සිදු වීම අරුමයක් නොවේ. කෙසේ වෙතත් ප්‍රස්තුතානුරූපීව ගෙන බලන විට අනුරාධපුර නගරය සේ ම රාජධානිය ද මෙහි ලා විශේෂිත ස්ථානයක් හිමි කර ගනී.
    දිවයිනේ ප්‍රධානතම නගරය ලෙස පැවති අනුරාධපුරය ක්‍රි.පූ. 8-7 වන ශතවර්ෂ වල සිට ම ක්‍රමානුකූලව වර්ධනය වූ නගරයක් ලෙස ත්, රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ලෙසත්, රාජ්‍ය පරිපාළණ මධ්‍යස්ථානය ලෙසත් සකස් වීම පිළිබඳ ප්‍රථම වරට වංශකතා වල සඳහන් වන්නේ පණ්ඩුකාභය හා සම්බන්ධ ක්‍රි.පූ. 4 පමණ වන ශතවර්ෂ වලට දින නියම කළ හැකි කතා පුවත් වල බව පෙර සඳහන් කරන ලද්දෙමු. පණ්ඩුකාභය හා සම්බන්ධ විස්තරයේ දැක්වෙන අනුරාධපුරය මහාවංශය ලියැවුණු ක්‍රි.ව. 6 වන ශතවර්ෂයේ එම නගරයේ තත්වය සමඟ ද සම්මිශ්‍රිතව ලියැ වී ඇතැයි සිතීම සාධාරණ ය. හේතුව වන්නේ සමකාළීන තත්වයන් රචිත ග්‍රන්ථ කෙරේ නිරායාසයෙන් බලපාන බැවිනි.
            කෙසේ වුව ද විවිධ අවස්ථා වල වර්ධනය වන ලද අනුරාධපුරයෙහි රජුන් සහ ප්‍රභූන් ජීවත් වූ ද, පරිපාළණ මධ්‍යස්ථානය ලෙස පැවතියා වූ ද, ස්ථානය සෑම විට ම පවුරකින් වට වී තිබිණි. වර්තමානයේ දකුණු දෙසින් ඇතුළු විය හැකි මෙම ස්ථානය ඇතුළු නුවර නැතහොත් Citadel යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය අනුරාධපුර තැනි තලාවේ උස් ම භූමියේ පිහිටා ඇත.
                            ශිලා ලිපි වලට අනුව “ඇත්නකර” යනුවෙන් හඳුන්වනු ලබන මෙම භූමියේ නටඹුන් සෙවීමෙහි මූලිකයා වූයේ 19 සියවසේ අග භාගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් ය. ඔහු 1893 දී සිය පාලන වාර්තාවේ මේ පිළිබඳ සඳහන් කර ඇත. මෙයින් පසු හෙන්රි පාකර්, අයර්ටන්, පී.ඊ.පී දැරණියගල, පී.ඩී සෙස්ටියරි, එස්. පරණවිතාන, සී.ඊ ගොඩකුඹුර යන විද්වතුන් ඇතුළු නුවර පිළිබඳ ව අවධානය යොමු කළ අතර ඉතා මෑතක දී මෙම ප්‍රදේශයේ සමහර ස්ථාන වල කැණීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් තැන්පත් ශිරාන් දැරණියගල විසිනි. ඔහුගේ අවධානයට යොමු වූ ප්‍රධාන ස්ථාන තුනක් වූයේ ගෙඩිගේ නම් ගොඩනැගිල්ලත්, ජනාවාස වර්ධනය පිළිබඳ ව සෙවීමට කැණීම් කිරීම සඳහා තෝරාගත් ස්ථානයත්, නගර ප්‍රාකාරයත් ය.
                        ශිරාන් දැරණියගලයන් විසින් පෙන්වා දී ඇති පරිදි වසර 7000 කට පමණ ඉහත දී වැදි පරපුරේ මී මුත්තා වූ ඔස්ට්‍රොලොයිඩ් වර්ගයට අයත් මධ්‍ය ගල් යුගයේ මානවයා විසින් අනුරාධපුරය ජනාවාස කරන ලද්දේ ය. මෙම මානවයාගෙන් පැවත ආ අය විජය කතා පුවතින් පිළිබිඹු වන කාලපරිච්ඡේදයට ශතවර්ෂ 2 කට පමණ පෙර එනම් ක්‍රි.පූ. 800 දී පමණ යකඩ භාවාතය හා වී වගාවත්, කුඹල් කර්මාන්තයත්, මැටි බඳුන් උපයෝගී කොටගෙන ආහාර පිසීමත් දැන සිටි සෑහෙන දුරකට ශිෂ්ටත්වය සඳහා එළැඹුණු පිරිසක් වූහ. ඔවුහු යටත් පිරිසෙයින් ක්‍රි.පූ. 400-350 පමණ වන විට රූප අක්ෂර ලිවීමද දැන සිටියහ. මේ කාළය වන විට ඉන්දියාව වැනි ආසන්න රටවල් සමඟ ඔවුන් වෙළඳ සම්බන්ධතා ද ඇති කරගෙන සිටි බව කැණීම් තුළින් මේ හා ආසන්න කාළයට දින නියම කළ හැකි කාර්නේලියන් පබළු හමු වීමෙන් පෙනී යයි. කාර්නේලියන් පබළු ලංකාවට ආවේණික නොවන අතර ඒවා ඉන්දියාවෙන් බෙහෙවින් හමු වේ. වලාහස්ස ජාතකයේ ඉන්දියාව හා ලංකාව අතර පැවැති වෙළඳාම පිළිබඳ දැක්වෙන තොරතුරු වලිනුත්, මහාවංශයේ විජය-කුවේණි කතා පුවතේ නැව් වලින් ලංකාවට ආ වෙළෙන්දන් ගැන දැක්වෙන තොරතුරු වලිනුත් සනාථ වන්නේ මේ වෙළඳ කටයුතු පිළිබඳවයි. මුල දී ගමක් ලෙස පැවැති අනුරාධග්‍රාමය පණ්ඩුකාභය කතා පුවතින් පිළිබිඹු වන ක්‍රි.පූ 4 වන ශතවර්ෂය වන විට නගරයක් හා පරිපාළණ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වී තිබිණි. ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේ දී රාජ්‍ය අනුග්‍රහයෙන් බුද්ධාගම හඳුන්වා දී ජනප්‍රිය කරවන ලද දේවානම්පියතිස්ස රජුගේ කාළයේ දී රාජ්‍ය මධ්‍යස්ථානය වූ ඇතුළු නුවර ආරක්ෂාව උදෙසා පවුරකින් වට කොට තිබිණි.
    කාළයාගේ ඇවෑමෙන් විවිධ ස්වරූපයෙන් වර්ධනය වූ මෙම පවුරෙහි සතර දිශාවෙහි ම දොරටු අසළ නිරන්තරයෙන් භටයින් ගැවසුණු මුර කුටි ඉදි කොට තිබිණි. ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයෙහි දුට්ඨගාමිණී-එළාර කතා පුවතෙහි යුද්ධ පිළිබඳ දැක්වෙන තොරතුරු වල මෙම පවුරේ දොරටුව ගැන සඳහන් වේ. පවුරේ දකුණු වාසල් දොරටුව අසළ දී දුට්ඨගාමිණී-එළාර සටන සිදු වූ බවත්, එහි දී එළාර ජීවිතක්ෂයට පත් වූ බවත් මහාවංශය සඳහන් කරයි. ක්‍රි.පූ. 1 වන ශතවර්ෂයේ දී  පමණ කූටකණ්ණතිස්ස රජු විසින් පවුර උස් කරවා බඳවා ඒ වටා දිය අගලක් ද කරවී ය. ක්‍රි.ව. 67-111 අතර කාළයේ රජ කළ වසභ රජු ප්‍රාකාරය තවත් උස් කරවන ලද අතර එයින් පසු අනුරාධපුර රාජධානි කාළය පුරාම එය විටින් විට ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත් කරන ලදි. උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සතර දිසාවන්හි ම කරන ලද කැනීම් මඟින් මෙම ප්‍රාකාරයේ නටඹුන් සොයාගෙන ඇත. ප්‍රාකාරයේ පදනම හා එක්තරා උසක් ගල් වලිනුත්, ඉහල කොටස ගඩොල් වලිනුත් තනා තිබූ බවට සාක්ෂි ඇත. පවුරෙන් ඔබ්බෙහි දිය අගලක් පැවැති බව ද, එයත් ආරක්ෂක හේතූන් මත සකස් කරන ලද්දක් බව ද වංශකතාවන් හි සඳහන් වේ.
                                            අනුරාධපුර රජ දරුවන්ගේ මාලිගා වල නටඹුන් මෙම ඇතුළු නුවර පස් තට්ටු වලින් වැසී තිබෙන්නට පිළිවන. ක්‍රි.ව. ගණන් වලට ඇතැම් විට අයත් මේවා මෙතෙක් ගවේෂණය කර නැත. ක්‍රි.ව. 11 වන ශතවර්ෂයේ 1 වන විජයබාහු (1070-1110) රජු සොළීන් නෙරපා පුළතිසිපුර රාජ්‍ය මධ්යස්ථානය ඉදි කිරීමට පෙර අනුරාධපුර තුන් මසක් රජ කළ අවධියේ ඉදි කරන ලද රජ මාලිගයේ පදනම පමණක් සෙනරත් පරණවිතාන මහතා විසින් සංරක්ෂණය කර ඇත.
            කෙසේ වුව ද රජ මාලිගා ආසන්නයේ ඉදි කොට තිබුණු දළදා මාලිගයේ නටඹුන් දැනුත් දකින්නට පිළිවන. ක්‍රි.ව. 4 වන ශතවර්ෂයේ ශ්‍රී මේඝවණ්ණ (301-328) රජු දවස දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමෙන් පසු එය රාජ්‍ය ආරක්ෂාව යටතේ පැවතිණ. පුරාවිද්‍යා කැණීම් වලින් පාදා ස්ථාපනය කොට ඇති ගෙඩිගේ නම් ගොඩ නැගිල්ල ද දන්ත ධාතු මන්දිරයක් ලෙස ඉදි කරන ලද්දකැ‘යි ඇතැමුන් විශ්වාස කළ ද එම අදහස පිළිගත නොහැක. නාවුල ආසන්නායේ ඇති නාලන්දා ගෙඩිගේ සහ පොළොන්නරුවේ ඇති ගෙඩි ගෙවල් මෙන් එයත් වෙනත් අරමුණකින් ඉදි කරන ලද ගොඩනැගිල්ලකැ‘යි සැලකීම වඩා නිවැරදි ය. මෙය බොහෝ දුරකට ප්‍රතිමාඝරයක් ලෙස සැලකිය හැකි ය. එහි ගෘහ නිර්මාණ ලක්ෂණ තුළින් පිළිබිඹු වන්නේ එය ඉදි කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ අවසාන භාගයේ දී, එනම් ක්‍රි.ව. 9-10 ශතවර්ෂ වල දී බව ය. දළදා මාලිගය එයට බොහෝ කාළකට පෙර ඉදි කරන ලද අතර, ගෙඩි ගෙයට නුදුරින් එහි නටඹුන් දක්නට පිළිවන.
        දළදා මාලිගය හා ගෙඩිගෙය අතර පිහිටි “මහාපාළි දාන ශාලාව” ක්‍රි.පූ 3 වන සියවසේ දී දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බවත්, එහි නඩත්තුවට රජු විවිධ ප්‍රදානයන් කළ බවත් මහාවංශයේ දැක් වේ. එයින් පසු විවිධ රජවරු විසින් එය වැඩි දියුණු කරන ලද අතර, රජවරුන්ගේ විශාල දාන උත්සව එහි දී පැවැත්විණ. 2 වන උපතිස්ස රජු රජ මාලිගයේ මුළුතැන් ගෙයින් පිසින ලද ආහාර (රාජ භෝජන) මහාපාලි දාන ශාලාවට යවන ලද බවත්, රජු ද දාන ශාලාවෙන් අහාර ගත් බවත්  චූල වංශය සඳහන් කරයි.
        භික්ෂූන් වහන්සේලාට රජු විසින් විටින් විට දානය පිළි ගන්වන ලද ස්ථානයක් වූයේ මහාපාලි දාන ශාලාවයි. එය “මහාපාලි” යනුවෙන් හඳුන්වන ලද්දේ භික්ෂූන් වහන්සේලා දන් පිළි ගැනීම උදෙසා පෙළ ගැසුණු නිසා යැයි අදහසක් පවතී.
                                                එසේ පෙළ ගැසුණු භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීමට බත් තැන්පත් කොට තිබුණේ යැයි සිතිය හැකි අභයගිරිය හා මිහින්තලේ විහාරයන් හි දක්නට ඇති ආකාරයේ ම විශාල බත් ඔරුවක් අදත් මහාපාලි දාන ශාලාවේ දක්ටන ලැබේ. අද දැක්වෙන විශාල බත් ඔරුව දෙවන අග්බෝ රජු (604-614) විසින් ඉදි කරවන ලද බවට චූලවංශයේ සඳහන් වන ඔරුව විය හැක. එම බත් ඔරුවේ අමතර දිග (මතුපිට) අඩි 27 අඟල් 6 කි. පළල අඩි 5 කුත් අඟල් 3කි. මෙහි පිටත බිත්ති මුහුණත ශිලා ලිපි කිහිපයක් දක්නට ලැබෙයි. මෙම බත් ඔරුව තුළ මළ නොබඳින තඹ තහඩුවලින් සැකසූ පෙට්ටියක් බහා තිබූ බවත්, ඒ තුළ තැන්පත් කරන ලද බත් දානය ලෙස පිළිගන්වන ලද බවත් විශ්වාස කිරීමට සාක්ෂි ඇත. බත් ඔරුව තුළ ඇති එක් ශිලා ලිපියක “මහපෙල” යන පද කිහිපය දක්නට ලැබෙයි. මෙම බත් ඔරු චූලවංශයේ “හත්ථනාව” යන පදයෙන් සඳහන් වෙයි. මාළු පිණි පිළිගැන්වීමටත් කුඩා ගල් ඔරු තිබෙන්නට ඇත.
        මෙම වටිනා නටඹුන් අන්තර්ගත ඇතුළු නුවර දළ වශයෙන් අක්කර 250 ක පමණ භූමි භාගයක විහිඳී ඇත. උතුරේ සිට දකුණට සැතපුම් තුන් කාළක් ද, නැගෙනහිර සිට බටහිරට සැතපුම් භාගයක් ද පමණ වන මෙම භූමි භාගයෙහි උතුරේ සිට දකුණට විහිඳුන වීථියෙහි නාමය මූලාශ්‍ර වලට අනුව “මඟුල් මහා වීථිය” යි. මෙයට අමතර ව සිඟුරුවාන වීථි, චන්ද්‍රවංක වීථි, මහවැලි වීථි නමින් වීදි කීපයක් ඇතුළු නුවර දක්නට විය. මෙහි පොළොව යටින් ජල වහනය උදෙසා සවි කර තිබූ ටෙරාකොටා නළ රාශියක් ම කැණීම් මඟින් හමු වී ඇත. ඉතාමත් මැනැවින් සැලසුම් කරන ලද සනීපාරක්ෂක විධි ඇතුළු නුවර ක්‍රියාත්මක වූ බවට මෙම ජලනල සාක්ෂි දරයි.
    එමෙන් ම කොරහ, මුට්ටි, හැලි, ඇතිලි, පාත්‍ර වැනි මැටි භාණ්ඩ රාශියක් ද පුරාවිද්‍යා කැණීම් මඟින් සෙනරත් පරණවිතානයන් විසින් සොයා ගන්නා ලදි. ඒ සියල්ලට ම වඩා වැදගත් වන්නේ ඔහු විසින් සොයා ගන්නා ලද කේෂර සිංහයෙකුගේ රූපය අන්තර්ගත රන් ආලේපිත මුද්රාවයි. සිංහ රූපය දෙපස පහන් දෙකක් ද දක්නට ඇත. මහනුවර රාජධානියේ ධජයේ සිංහ රූපයකට මෙය බොහෝ දුරකට සමාන ය. මෙය පැරණි සිංහල රජවරුන්ගේ රාජකීය මුද්‍රාව යැයි අනුමාන කිරීමට පිළිවන.
        රජුන්, රජ පවුලේ සාමාජිකයින්, ඇමතිවරුන්, පරිපාළණයේ අනෙකුත් ප්‍රභූන් වූ සේනාපති, භාණ්ඩාගාරික වැනි නිළධාරීන්, චීනය, ඉන්දියාව, ග්‍රීසිය වැනි රටවලින් පැමිණි තානාපතිවරුන්, වෙළඳ ශ්‍රේණි වල නායකයින් සහ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් ද වාසය කළ ඇතුළු නුවර අතීතයේ දී තේජාන්විත වූ ද, බොහෝ වස්තු සම්පත් බහුල වූ ද මධ්‍යස්ථානයක් විය. රජුන්ගේ හා ප්‍රභූන්ගේ පවුල් වල අවශ්‍යතා ඉටු කරන ලද ඉතා ඉහල ගණයේ වෙළඳ මධ්‍යස්ථාන ද ඇතුළු නුවර තිබුණේ යැ යි නිගමනය කිරීම සාධාරණ ය. දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ කොල්ලකාරී හස්තයටත්, රට තුළ කැරලි කරුවන්ගේ අවධානයටත් ඇතුළු නුවර ලක් වූයේ මේ නිසා ය. මේ නිසා ම රාජ්‍ය බලය හා සම්බන්ධ කුමන්ත්‍රණ හා ඝාතන රාශියක් ද මෙම ස්ථානයේ සිදුව තිබේ.
                    මහා රත්තක වැනි සේනාධිපතිවරුන් රජුන් මරා රාජ්‍ය බලය පැහැර ගත්තේත්, කණිරජානුතිස්ස වැනි කුමරුවන් වැඩිමහල් සොහොයුරන් මරා සිංහාසනාරූඪ වූයේත්, ලම්භකර්ණ වැනි ප්‍රභූ පිරිස් ඇතැම් විට මාලිගා තුළ ම රජුන් සිර කොට තබන ලද්දේත්, සුභ නම් දොරටු පල්ලා යසලාලකතිස්ස රජු මරවා රාජ්‍ය ලබා ගත්තේත් මෙම ඇතුළු නුවර දී ය. රාජ වංශ හා ඉතිහාසය එබඳු අමිහිරි සිදුවීම් වලින් ගහණ ය.
        ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන හා විහාරාරාම පිට නුවර ඉදි කොට තිබුණ අතර මුළු නගරයේ ම ජල අවශ්‍යතා උදෙසාත්, නගරයෙන් බැහැරව පැවතියා වූ ජනාවාස වල කෘෂි අවශ්‍යතා උදෙසාත්, බටහිරින් තිසා වැව සහ බසවක්කුලම යන ප්‍රධාන වැව් දෙකත්, නැගෙනහිරින් නුවර වැව නම් ප්‍රධාන වැවත් තනවා ඇත. ආගමික මධ්‍යස්ථාන වල ඔබ්බේ සාමාන්‍ය මිනිසුන්ගේ ජනාවාස, වෙළඳ වීදි යනාදිය පැවතිණි. අනුරාධපුර නගරයේ නිවාස අලංකාර වූ බවත්, මාර්ග මැනැවින් සකසා තිබූ බවත් ෆාහියන් හිමි දක්වයි. මහාවංශයේ පණ්ඩුකාභය කතා පුවතේ නගර සැකැස්ම ගැන දැක්වෙන තොරතුරු යටත් පිරිසෙයින් මහාවංශය ලියැවුණු කාළයේ තොරතුරු යැයි සළකතොත් අනුරාධපුර රාජධානි සමයේ මධ්‍ය භාගය වන විටත් පිට නුවර විවිධ ස්ථාන වල නගර ශෝධකයින්ගේත්, කසල ශෝධකයින්ගේත් වාසස්ථාන දක්නට ලැබිණැ‘යි සිතිය හැක. සාමාන්ය මිනිසුන්ගේ වාසස්ථාන ඉතා ඉක්මනින් දිරා යන ද්‍රව්‍ය වලින් සකසා තිබුණ හෙයින් අනුරාධපුරයේ පිට නුවර පැවති වාසස්ථාන රටාව පිළිබඳව නිශ්චිතව ම යමක් කීම අපහසු ය. පණ්ඩුකාභය පිළිබඳව ඇති මහාවංශ කතා පුවතින් ම විවිධ වූ කණ්ඩායම් වලට අයත් සුසාන භූමි, “යොන” නමින් හඳුන්වන ලද විදේශිකයින්ගේ වාසස්ථානයට වෙන් කරන ලද ස්ථාන පිට නුවර පැවති බව තීරණය කළ හැක. පිට නුවරින් ඔබ්බේ කෘෂි ජනාවාස පැවතිණ. මෙම ජනාවාස සමාජ තත්වයන් මත ස්ථර ගත වූ බව “චණ්ඩාලග්‍රාම, දඩයම් කරුවන්ගේ වාසස්ථාන” යනාදිය පිළිබඳව දැක්වෙන කතා පුවත් වලින් නිගමනය කිරීමට පිළිවන.
            මහාවංශයේ පණ්ඩුකාභය කතා පුවතින් අනුරාධපුර නගරය පාළණය උදෙසා නගර ගුත්තික නම් නිළධාරියෙකු පත් කර සිටි බවත්, රාත්‍රී කාළයේ දී පවා නගර ආරක්ෂක කටයුතු මැනැවින් සංවිධානය කොට පැවති බවත් නිගමනය කළ හැක. මේ අනුව අනුරාධපුරය ඉතා මැනැවින් සංවිධිත නගරයක් ලෙස පැවැති බව නිගමනය කිරීමට කිසිදු අපහසුතාවයක් නැත. රාජධානියේ පරිහානියත් සමඟ එහි වැදගත් කම අඩු වුව ද, 13 වන ශතවර්ෂය දක්වාම අනුරාධපුරය වැදගත් නගරයක් ලෙස පැවතිණි. 

            මීට අමතර ව අනුරාධපුර නගරය කේන්ද්‍ර කොටගෙන මාර්ග පද්ධති කීපයක් ම විහිඳී ගොස් තිබිණි. අනුරාධපුර හා යාපන අර්ධද්වීපයෙහි ජම්බකෝල පට්ටනය සමඟ එක් මාර්ගයක් විය. අනුරාධපුරය හා ජම්බුකොළ මාර්ගයේ මල්වතු ඔය හරහා පැවති එක් පාළම කනු සමඟ ඇතැම් පුවරු දැනුත් අනුරාධපුර ආසන්නයේ දකින්නට ලැබේ. මෙම මාර්ගය පාවක්කුලම වැවේ දිය නිකුත් වන ස්ථානය ඔස්සේ ද සකස් කොට තිබුණේ තවත් ගල් පාළමක් හරහා ය. අනුරාධපුර, රඹෑව, පාවක්කුලම්, ඕමාන්තායි සහ වව්නිකුලම් ඔස්සේ යාපන අර්ධද්වීපයටත්, එතැනින් ජම්බුකෝල පට්ටනයටත් මෙම මාර්ගය සම්බන්ධ විය. ඉන්දියානු හමුදා ඇතැම් විට ජම්බුකෝල පට්ටනයේ සිට උතුරු මැද තැනිතලාවට පැමිණියේ මේ ඔස්සේ ය. දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250-210) රජුගේ කාලයේ ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයට ගෙන ඒමේදීත්, සංක්‍රමණ වලදීත් භාවිතා වූ මෙම මාර්ගය රජරට සභ්‍යත්වය පැවැති ක්‍රි.ව. 12 වන ශතවර්ෂය දක්වාම වැදගත් විය. යාපන අර්ධද්වීපයේ දී ජම්බුකෝල පට්ටන සිට ඌරාතොට සමඟ ද මෙම මාර්ගය සම්බන්ධ විය.

    තවත් ප්‍රධාන මාර්ගයක් මහාතිත්ථ හෙවත් මාන්තායි වරාය සමඟ අනුරාධපුරය සම්බන්ධ කළේ ය. වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයේ දී අතිශය වැදගත් මාර්ගය වූ මේ ඔස්සේ දක්ෂිණ භාරත ආක්‍රමණිකයෝ ද බොහෝ අවස්ථා තුළ රට තුළට පැමිණියහ. දකුණු ඉන්දියාවේ සිවිල් යුද්ධ වල දී සිංහල රජුන්ගේ මිත්‍ර පාක්ෂික කුමාරවරුන්ට ආධාර හමුදා යැවීමේ දී ත්, අනුරාධපුර රාජ්‍ය අල්ලා ගැනීම සඳහා දකුණු ඉන්දියානු භට හමුදා වල ආධාරය ලබා ගත් සිංහල කුමාරවරුන් එම හමුදා කැටිව ලංකාව තුළට ඒමේ දී ත් මේ මාර්ගය විවිධ අවස්ථා වල දී භාවිත කරන ලදි.
                                අනුරාධපුරයේ සිට ඒ අවට පෙදෙස් වලට තවත් බොහෝ මාර්ග විහිද ගියේ ය. නගර දොරටුවෙහි සතර දිශාවේ ගේට්ටු සතරක් වූ අතර මිහින්තලේ පටන් අනුරාධපුරය දක්වා වූ මාර්ගය නැගෙනහිර දොරටුව සමඟ සම්බන්ධ විය. යාපන අර්ධද්වීපය සමඟ නගරය සම්බන්ධ වූයේ උතුරු දොරටුවේ සිට විහිද ගිය මාර්ගයෙනි. බටහිර හා දකුණු දොරටු ද මේ ආකාර මාර්ග පද්ධතියක් සමඟ සම්බන්ධ වූ බව අනුමාන කළ හැක.

No comments:

Post a Comment