පුරාවිද්‍යා සාධක මඟින් හෙළි වන මහින්දාගමනය
ලක්දිව ආගමික, සංස්කෘතික හා සාමාජීය වශයෙන් පුනර්ජීවයක් අැති වීමෙහි ලා මහින්දාගමනය තුළින් සිදු වූ සේවය අති විශාලය. ක්‍රි.පූ. 247 දී පමණ දඹදිව අශෝක අධිරාජ්‍යයා යටතේ සිදු වූ මහා විප්ලවයක ප්‍රතිඵලයක් වශයෙන් රටවල් නවයකට ධර්ම දූතයන් වහන්සේලා පිටත් කර හරින ලදි. පාටලීපුත්‍රයෙහි (වත්මන් පැට්නා) අශෝකාරාමය තුළ කෙරුණු තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්දිවට ද මහින්ද තෙරුන් ප්රමුඛ ධර්ම දූත පිරිස වැඩමවී ය. මහාවංශය ආදී මූලාශ්රයන් මේ පිළිබඳ දීර්ඝ විස්තර දක්වන අතර සාහිත්‍යයමය මූලාශ්රයන්ට වඩා පුරාවිද්‍යාත්මක හෙවත් ද්විතීයික මූලාශ්‍ර විශ්වාස කටයුතු හෙයින් ඒ පිළිබඳ සුළුවෙන් හෝ විමසීම කාළෝචිත ය.
ක්‍රි.පූ. 2 වන සියවසේ ලක්දිව රජ කළ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය (ක්‍රි.පූ 247-207) මිහිඳු මහ තෙරුන් ප්රමුඛ දූත පිරිසේ සම්ප්‍රාප්තිය පිළිබඳ විමසීමේ දී වැදගත් ය. මහින්දාගමනය පිළිබඳ සියුම් අධ්‍යයනයකින් වටහා ගත හැකි දේශපාලනික අරමුණක් ඇතත් ඒ පිළිබඳ වෙනමම ලිපියකින් විමසිය යුතු ය. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ (ක්‍රි.පූ 247-207) දී මහින්දාගමනය සිදු වුව ද මිහිඳු තෙරුන්ගේ පිරිනිවීම සිදු වූයේ උත්තිය රාජ්‍ය සමයේ (ක්‍රි.පූ 207-197) දී ය. එනම් උත්තිය රජුගේ අට වැනි රාජ්‍ය වර්ශයේ දී ය. ඒ වන විට උන්වහන්සේගේ ආයුඃ ප්‍රමාණය වසර අසූවකි.
වැඩම වූ දා පටන් උන්වහන්සේගෙන් සිදු වූ අති විශාල සේවය අගය කරනු වස් උත්තිය රජතුමා (ක්‍රි.පූ 207-197) උන්වහන්සේගේ දේහය රන් දෙනක බහා මිහින්තලේ සිට අනුරාධපුරය දක්වා වැඩමවා, නගරයෙහි වීථි සංචාරය කරවා, මහා විහාරයෙහි තැන්පත් කොට සතියක් පූජෝපහාර පවත්වා 'ඉසි භූමංගන' නම් ස්ථානයෙහි ආදාහනය කරවී ය. උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට අනුරාධපුරයෙහි හා තවත් ප්‍රදේශ කීපයක චෛත්‍යය සෑද වූ බව සඳහන් වේ. මේ පිළිබඳ විමසන විට සෑගිරිය හා රජගල සුවිශේෂී වන්නේ මහින්දාගමනය තහවුරු කළ හැකි පුරාවිද්‍යා සාධක හමු වී ඇත්තේ එම ස්ථාන වලින් බැවිනි. මේවා පූර්ව බ්රාහ්මී ශිලා ලේඛණ ය.
මෙයින් මුල් ලිපිය දැක්වෙන්නේ අම්පාර දිස්ත්‍රිකයේ රජගල නැමැති පැරණි සිද්ධස්ථානයේ ය. එහි එන බ්රාහ්මී පෙළ මෙසේ ය.
"යෙ ඉම දීප පඨමය ඉඩිය අගතන ඉටික තෙර මහිද තෙර තුබෙ"
( මෙම දීපයට ප්‍රථමයෙන්, එර්දියෙන් වැඩි ඉට්ඨිය තෙරුන්ගේත්,
මහින්ද තෙරුන්ගේත් ථූපය යි.)
මෙම ලිපිය ක්‍රි.පූ 2 වන සියවසට අයත් අතර මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සිය Inscription Of Ceylon (1970) නැමැති කෘතියෙහි මෙම ලිපිය පිළිබඳ තරමක් විස්තර දක්වා තිබේ. මෙම ලිපියේ එන 'ඉඩිය අගතන' නැමැති ප්‍රකාශයට විවිධ නිර්වචන පවතින අතර පරණවිතානයන් දී ඇති 'එර්දියෙන් වැඩම කරන ලද' නැමැති අරුත එලෙසම ඉහත ශිලා ලේඛණ අනුවාදයෙහි දක්වා තිබේ.
ඉහත දැක් වූ රජගල ලිපියෙහි විශේෂත්වයක් වෙයි. ඒ වනාහි මෙම ලිපියෙහි මුලින් ඉට්ඨිය තෙරුන්ගේ නාමය සඳහන් කිරීමයි. නමුත් ධර්ම දූතයන් වහන්සේලා අතර ප්රධානීත්වයක් දරන ලද්දේ මහා මහින්ද තෙරුන් බව ප්‍රකට කරුණකි. මීට හේතුව කුමක්ද යන්න එතරම් පැහැදිලි නොවූවත් සාමාන්‍ය වශයෙන් උපකල්පනයකට එළඹිය හැක. එනම් මෙම ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරය බොහෝ විට ඉට්ඨිය තෙරුන් විසින් සිදු කරන්නට අැති බව ය. මේ හේතුව නිසා ප්‍රදේශයේ ප්රකටව පැවති තෙරුන්ගේ නාමය ලිපියෙහි මුලින් සඳහන් කරන්නට ඇත. මහාවංශය ආදී මූලාශ්රයන් අනුරාධපුර අග නගරයෙහි ධර්ම ප්‍රචාරය පිළිබඳ විස්තර වාර්තා කෙරෙන විට මිහිඳු තෙරුන්ගේ ක්‍රියාවන් සුවිශේෂී කොට දක්වන්නේ අනෙක් තෙරුන් වහන්සේලා දිවයිනේ නා නා ප්‍රදේශ වල ධර්ම ප්‍රචාරය කළ නිසා විය හැකි ය. අග නගරයේ විසූ මහාවංශ කතුවරයා තමාට ග්රහනය වන දේ හෙවත් තොරතුරු පමණක් රචනා කරන්නට ඇත.
එසේ ම ක්‍රි.ව 1 වන සියවසේ පමණ රචිත වූ මිහින්තලා පර්වත ලිපිය තරමක සාක්ෂියක් ශේෂ කොට තිබේ. එනම් මේ තුළින් මහින්දාගමනයෙහි සත්‍යතාවයට තරමක ඉඟියක් ලැබේ. දැනට පිළිගෙන ඇති මතය වන්නේ මෙම ලිපිය 'කූටකණ්ණ තිස්ස' රාජ්‍ය සමයට (ක්‍රි.ව 16-38) අයත් බව ය. මෙම ලිපියෙහි කොටසක් විනාශ වී ඇති බැවින් කියවිය හැක්කේ ලිපියෙහි කොටසකි. කියවිය හැකි කොටසේ අනුවාදය මෙසේ ය.
".................මහින්ද, ඉට්ඨිය, භද්දසාල, උට්ඨික යන හාමුදුරුවරුන්ගේ
ප්‍රතිමා කරවන ලදි."
මෙහි සම්භල තෙරුන්ගේ, සුමන සාමනේරයන්ගේ හා භණ්ඩුක උපාසකලේ (පසුව තෙරුන්) නම සඳහන් නොවේ. මෙයට හේතුව කුමක්ද යන්න අපැහැදිලි නමුත් මහින්දාගමනය තහවුරු කරන සාධකයක් මේ තුළින් ඉදිරිපත් වේ. මේ අනුව ලාංකීය ද්විතීයික මූලාශ්‍ර අනුව මහින්දාගමනය සනාතන සත්‍යයක් බව තහවුරු වේ.










