Sunday, February 16, 2014

පුරාවිද්‍යා සාධක දඟින් හෙළි වන මහින්දාගමනය

            පුරාවිද්‍යා සාධක මඟින් හෙළි වන මහින්දාගමනය


                                               ලක්දිව ආගමික, සංස්කෘතික හා සාමාජීය වශයෙන් පුනර්ජීවයක් අැති වීමෙහි ලා මහින්දාගමනය තුළින් සිදු වූ සේවය අති විශාලය. ක්‍රි.පූ. 247 දී පමණ දඹදිව අශෝක අධිරාජ්‍යයා යටතේ සිදු වූ මහා විප්ලවයක ප්‍රතිඵලයක් වශයෙන් රටවල් නවයකට ධර්ම දූතයන් වහන්සේ‍ල‍ා පිටත් කර හරින ලදි. පාටලීපුත්‍රයෙහි (වත්මන් පැට්නා) අශෝක‍ාරාමය තුළ කෙරුණු තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්දිවට ද මහින්ද තෙරුන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස වැඩමවී ය. මහාවංශය ආදී මූලාශ්‍රයන් මේ පිළිබඳ දීර්ඝ විස්තර දක්වන අතර සාහිත්‍යයමය මූලාශ්‍රයන්ට වඩා පුරාවිද්‍යාත්මක හෙවත් ද්විතීයික මූලාශ්‍ර විශ්වාස කටයුතු හෙයින් ඒ පිළිබඳ සුළුවෙන් හෝ විමසීම ක‍ාළෝචිත ය.
                                                                                 ක්‍රි.පූ. 2 වන සියවසේ ලක්දිව රජ කළ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය (ක්‍රි.පූ 247-207) මිහිඳු මහ තෙරුන් ප්‍රමුඛ දූත පිරිසේ සම්ප්‍රාප්තිය පිළිබඳ විමසීමේ දී වැදගත් ය. මහින්දාගමනය පිළිබඳ සියුම් අධ්‍යයනයකින් වටහා ගත හැකි දේශපාලනික අරමුණක් ඇතත් ඒ පිළිබඳ වෙනමම ලිපියකින් විමසිය යුතු ය. දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ (ක්‍රි.පූ 247-207) දී මහින්දාගමනය සිදු වුව ද මිහිඳු තෙරුන්ගේ පිරිනිවීම සිදු වූයේ උත්තිය රාජ්‍ය සමයේ (ක්‍රි.පූ 207-197) දී ය. එනම් උත්තිය රජුගේ අට වැනි රාජ්‍ය වර්ශයේ දී ය. ඒ වන විට උන්වහන්සේගේ ආයුඃ ප්‍රමාණය වසර අසූවකි. 
      වැඩම වූ දා පටන් උන්වහන්සේගෙන් සිදු වූ අති විශාල සේවය අගය කරනු වස් උත්තිය රජතුමා (ක්‍රි.පූ 207-197) උන්වහන්සේගේ දේහය රන් දෙනක බහා මිහින්තලේ සිට අනුරාධපුරය දක්වා වැඩමවා, නගරයෙහි වීථි සංචාරය කරවා, මහා විහාරයෙහි තැන්පත් කොට සතියක් පූජෝපහාර පවත්වා 'ඉසි භූමංගන' නම් ස්ථානයෙහි ආදාහනය කරවී ය. උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට අනුරාධපුරයෙහි හා තවත් ප්‍රදේශ කීපයක චෛත්‍යය සෑද වූ බව සඳහන් වේ. මේ පිළිබඳ විමසන විට සෑගිරිය හා රජගල සුවිශේෂී වන්නේ මහින්දාගමනය තහවුරු කළ හැකි පුරාවිද්‍යා සාධක හමු වී ඇත්තේ එම ස්ථාන වලින් බැවිනි. මේවා පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛණ ය.


                                                                     මෙයින් මුල් ලිපිය දැක්වෙන්නේ අම්පාර දිස්ත්‍රිකයේ රජගල නැමැති පැරණි සිද්ධස්ථානයේ ය. එහි එන බ්‍රාහ්මී පෙළ මෙසේ ය.

          "යෙ ඉම දීප පඨමය ඉඩිය අගතන ඉටික තෙර මහිද තෙර තුබෙ"

         ( මෙම දීපයට ප්‍රථමයෙන්, එර්දියෙන් වැඩි ඉට්ඨිය තෙරුන්ගේත්,
           මහින්ද තෙරුන්ගේත් ථූපය යි.)

                               
                                                      මෙම ලිපිය ක්‍රි.පූ 2 වන සියවසට අයත් අතර මහාච‍ාර්ය සෙනරත් පරණවිතානයන් සිය Inscription Of Ceylon (1970) නැමැති කෘතියෙහි මෙම ලිපිය පිළිබඳ තරමක් විස්තර දක්වා තිබේ. මෙම ලිපියේ එන 'ඉඩිය අගතන' නැමැති ප්‍රකාශයට විවිධ නිර්වචන පවතින අතර පරණවිතානයන් දී ඇති 'එර්දියෙන් වැඩම කරන ලද' නැමැති අරුත එලෙසම ඉහත ශිලා ලේඛණ අනුවාදයෙහි දක්වා තිබේ.
           ඉහත දැක් වූ රජගල ලිපියෙහි විශේෂත්වයක් වෙයි. ඒ වනාහි මෙම ලිපියෙහි මුලින් ඉට්ඨිය තෙරුන්ගේ නාමය සඳහන් කිරීමයි. නමුත් ධර්ම දූතයන් වහන්සේල‍ා අතර ප්‍රධානීත්වයක් දරන ලද්දේ මහා මහින්ද තෙරුන් බව ප්‍රකට කරුණකි. මීට හේතුව කුමක්ද යන්න එතරම් පැහැදිලි නොවූවත් සාමාන්‍ය වශයෙන් උපකල්පනයකට එළඹිය හැක. එනම් මෙම ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරය බොහෝ විට ඉට්ඨිය තෙරුන් විසින් සිදු කරන්නට අැති බව ය. මේ හේතුව නිසා ප්‍රදේශයේ ප්‍රකටව පැවති තෙරුන්ගේ නාමය ලිපියෙහි මුලින් සඳහන් කරන්නට ඇත. මහාවංශය ආදී මූලාශ්‍රයන් අනුරාධපුර අග නගරයෙහි ධර්ම ප්‍රචාරය පිළිබඳ විස්තර වාර්තා කෙරෙන විට මිහිඳු තෙරුන්ගේ ක්‍රියාවන් සු‍විශේෂී කොට දක්වන්නේ අනෙක් තෙරුන් වහන්සේලා දිවයිනේ නා නා ප්‍රදේශ වල ධර්ම ප්‍රචාරය කළ නිසා විය හැකි ය. අග නගරයේ විසූ මහාවංශ කතුවරයා තමාට ග්‍රහනය වන දේ හෙවත් තොරතුරු පමණක් රචනා කරන්නට ඇත. 


                                                                              එසේ ම ක්‍රි.ව 1 වන සියවසේ පමණ රචිත වූ මිහින්තලා පර්වත ලිපිය තරමක සාක්ෂියක් ශේෂ කොට තිබේ. එනම් මේ තුළින් මහින්ද‍ාගමනයෙහි සත්‍යත‍ාවයට තරමක ඉඟියක් ලැබේ. දැනට පිළිගෙන ඇති මතය වන්නේ මෙම ලිපිය 'කූටකණ්ණ තිස්ස' රාජ්‍ය සමයට (ක්‍රි.ව 16-38) අයත් බව ය. මෙම ලිපියෙහි කොටසක් විනාශ වී ඇති බැවින් කියවිය හැක්කේ ලිපියෙහි කොටසකි. කියවිය හැකි කොටසේ අනුවාදය මෙසේ ය.
                  ".................මහින්ද, ඉට්ඨිය, භද්දසාල, උට්ඨික යන හාමුදුරුවරුන්ගේ
                    ප්‍රතිමා කරවන ලදි."
                                         මෙහි සම්භල තෙරුන්ගේ, සුමන සාමනේරයන්ගේ හා භණ්ඩුක උපාසකලේ (පසුව තෙරුන්) නම සඳහන් නොවේ. මෙයට හේතුව කුමක්ද යන්න අපැහැදිලි නමුත් මහින්දාගමනය තහවුරු කරන සාධකයක් මේ තුළින් ඉදිරිපත් වේ. මේ අනුව ලාංකීය ද්විතීයික මූලාශ්‍ර අනුව මහින්දාගමනය සනාතන සත්‍යයක් බව තහවුරු වේ.

මහාවංශයේ එන කතරගම ක්ෂත්‍රීයයන්

                                  කතරගම ක්ෂත්‍රීයයන්

                                  
                                                                                  ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ රචිත මහාවංශය මේ වන විට ලක්දිව ඉතිහාසය හැදෑරීමේ ප්‍රධාන සාහිත්‍යය මූලාශ්‍රය බවට පත් ව ඇත.මෙතෙක් තහවුරු කර ගත් තොරතුරු හා සසඳා බලන විට මෙහි නිරවද්‍යතාවය අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍ර වලට සාපේක්ෂව සත්‍ය වී තිබීම මීට හේතුව බව පෙනේ. කතරගම ක්ෂත්‍රීයයන් පිළිබඳ මුල් වරට සඳහන් වන්නේ මහාවංශය දක්වන ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයේ දී ය. එසේ ම අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේලා රෝපණය කළ ස්ථාන දක්වන විට කතරගම විශේෂයෙන් සඳහන් වේ.
                                                 මේ හැරෙන්නට කතරගම ක්ෂත්‍රීයයන් පිළිබඳ ‍තොරතුරු සඳහන් වන තවත් වැදගත් එක් මූලාශ්‍රයක් වන්නේ ධාතු වංශය යි. නමුත් මෙම ග්‍රන්ථ‍යේ කාළ නිර්ණය අතිශය අසීරු කරුණක් වන අතර රචනා කර තිබෙන්නේ කකුසඳ නැමැති තෙර නමකි. නමුත් මහාවංශයේ අඳුරු තැන් රාශියක් මෙම ග්‍රන්ථය තුළින් හෙළි කොට තිබීම සුවිශේෂී වේ.
                                                               කතරගම වනාහි මහවැලි ගඟ ඇසුරු කොට ගෙන බිහි වූ ජනපදයකි. බෙන්තර ග‍ෙඟෙන් හා මහවැලි ග‍ෙඟෙන් සීමා වූ රෝහණයේ ප්‍රධාන ජනපදයක් වශයෙන් මෙය පැවතිණි. (රෝහණය ක්‍රි.පූ 2 වන සියවසේ දෙවනපෑතිස් රජුගේ සොයුරු මහා නාගගෙන් ඇර‍ඹෙන අතර මෙහි ප්‍රාදේශීය පාළණ ඒකක වූ බව සිහි තබා ගත යුතු ය.) සමකාළයේ ප්‍රධාන රාජධානිය වශයෙන් පැවති අනුරාධපුර අග නගරයෙන් තරමක් දූරස්ථ ප්‍රදේශයක් වශයෙන් පැවති මෙය ස්වාධීන පාළණ ඒකකයක් වශයෙන් සකස් වීමෙහි ලා මෙකී දූරස්ථ බව මහඟු පිටු වහලක් වන්නට ඇත.මෙවැනි පාළණ ඒකක විශාල ප්‍රමාණයක් මුල් කාළයේ පැවතිණි. එනම්,
                                                "වව්නියා දිස්ත්‍රික්කයේ වර්තමාන පෙරියපුලියන්කුලම අවට පැවති ඒකකය, අනුරාධපුරයෙන් සැතපුම් 30ක් පමණ වයඹ දිගින් පිහිටි වර්තමාන ඔච්චාප්පුකල්ලු අවට පැවති ඒකකය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ලෙනගල හා යටහලෙන කේන්ද්‍ර කොටගෙන පැවති ඒකකය, මහවැලි ග‍ෙඟේ ඉහල නිම්නය හා වර්තමාන මහනුවර-තෙල්දෙණිය මාර්ගයේ මහනුවරට සැතපුම් 18ක් පමණ දුරින් පිහිටා තිබූ බඹරගල හා එතැනින් සැතපුම් 10ක් පමණ ඈතින් පිහිටි ගෝනවත්ත කේන්ද්‍ර කොටගෙන පැවැති ඒකකය, මධ්‍ය කඳුකරයේ උතුරු ප්‍රදේශයේ ඇඹුල්අඹේ මුල් කොට ගෙන පැවති ඒකකය, සීගිරිය ආසන්නයේ පිදුරංගල මුල් කොට පැවති ඒකකය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රංගිරිමඩ හා හීපව්ව ආශ්‍රිත ඒකකය, රුහුණේ අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔයට උතුරින් බෝවත්තේගල ආශ්‍රිතව පැවති ඒකකය, කුඹුක්කන් ඔයේ සැතපුම් කීපයක් ඉහලින් වූ කොටාදැමූහෙල මුල් කොට පැවති ඒකකය, කතරගමට උතුරින් කුසලාන්කන්ද, මොට්ටයකල්ලු, හෙන්නානිගල, කල්උඩුපොතාන ආදී ස්ථාන ආශ්‍රිතව පැවති ඒකකය, කිරිඳි ඔය නිම්නයේ බලහුරුකන්ද හා වලවේ නිම්නයේ කිරමකුගොල්ල ආශ්‍රිත ඒකකය, පොළෙ‍ාන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල ආශ්‍රිත ඒකකය, බදුල්ල දිස්ත්‍රික්කයේ බින්තැන්න කෝරළයේ මයියංගනයට නුදුරින් ඔලගම්පල ආශ්‍රිතව පැවති ඒකකය, මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ‍කෝරළයේ කොල්ලදෙණිය මුල් කොට පැවති ඒකකය" වශයෙනි.
          කෙසේ වෙතත් කාචරග්‍රාමයේ ක්ෂත්‍රීයයන් හැරුණු විට චන්දනගාමයේ හෙවත් සඳුන්ගම ක්ෂත්‍රීයයන් පිළිබඳවත් වංශකතා විස්තර දක්වන අතර සඳුන්ගම ක්ෂත්‍රීයයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක වශයෙන් තහවුරු කළ හැකි සාධක මෙතෙක් ලැබී නොතිබීම බලවත් අඩු ප‍ාඩුවකි. (ඇතැම් විචාරකයන් බෝවත්තේගල සඳුන්ගම බව කිව ද එය ගැටළු සහගත ය.) චන්දනගාමය සම කාළය වන විට කතරගම ක්ෂත්‍රීයයන්, තිවක්ක බමුණුගම ප‍ාළක තරම් වැදගත් ස්ථානයක් හෙබ වූ බව පැහැදිලි ය.
                                                                 කෙසේ වෙතත් මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහස වන්නේ මහාවංශය සඳහන් කරන කතරගම ක්ෂත්‍රීයයෝ වනාහි ධාතු වංශය හා ශිලා ලේඛණ සඳහන් කරන කතරගම දස බෑ රජුන් බවයි. ධාතු වංශය මෙය අරඹන්නේ ගෝඨාභය රජුගේ කතරගම දස බෑ රාජ්‍ය සංහාරය පිළිබඳ සඳහන් කරමිනි. ඒ ගෝඨාභය රජු රෝහණය එක්සත් කළ විස්තරයේ දී ය. රජු කතරගම දස බෑ රජුන් මරවා ඊට දඬුවම් පිණිස විහාරාරාම රාශියක් කරවීය.
                              1. ගෝඨාභය විහාරය
                              2. හත්තොට්ඨ නම් ජනපදයෙහි මත්තිකා ලෙන නම් විහාරය
                              3. ඛිරසාල විහාරය
                              4. නාග පබ්බත විහාරය
                              5. කුම්භසේල විහාරය
                              6. න්ත් විහාරය
                              7. චේතිය පබ්බත විහාරය
                              8. දාන පබ්බත විහාරය
                              9. කණිකාර සේල විහාරය
                            10. අම්බසෙල විහාරය
                            11. තින්දුක ලෙන විහාරය
                            12. කාරදණ්ඩක ලෙන විහාරය
                            13. ගෝඨලපබ්බත විහාරය
                            14. ගෝඨසාලක විහාරය
                            15. වාලුකා තිත්ථ විහාරය
                                                                යනුවෙනි. මේ පිළිබඳ විමසන විට සිහිවන්නේ දුටු ගැමුණු රජු ද්‍රවිඩ සංහාරය නිසා ඇති කරගත් සිත් කනස්සල්ලත්, ධර්මාශෝක රජුගේ දිග් විජය ප්‍රතිපත්තිය නිසා ඇති වූ මිනිස් සංහාරය නිසා (කාළිංග යුද්ධය) කර වූ 84000ක් වෙහෙර විහාරත් ය.
    
                                                   
                                                                                                     මෙම කතරගම ක්ෂත්‍රීයයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක ව තහවුරු වී තිබීම සුවිශේෂී සිද්ධියකි. පැරණී රෝහණයට අයත් පෙදෙසින් ම මේ පිළිබඳ එන ශිලා ලිපි හමු වී තිබීම මහාවංශ කියමන සනාථ කර දක්වයි. මෙහි දී සුවිශේෂී වන ශිලා ලිපි කීපයකි.

          "දමරඣ පුත මහතිශ අයහ ඣිත අබි ශවෙරය රඣමතය 
           පචින බුමිය මහ ශුදශනෙ නම ලෙණෙ අගත
           අනගත චතුදිශ ශගශ නියතෙ."

           (දමරජුගේ පුත් මහාතිස්සගේ දියණිය වූ, පශ්චිම
             භූමියේ රජුගේ මාතාව වූ අබිශවෙරයගේ
             මහා ශුදර්ශන ලෙණ පැමිණි නොපැමිණි
             සිව් දිග සංඝ්‍යාට නියතයි.)
                                                        -මාදනහෙල ලෙන් ලිපි-
                                                                                            ලක්දිව ප්‍රා‍දේශිය පාළණ ඒකක පිළිබඳ විමසන විට මෙවැනි ලිපි අතිශය වැදගත් වේ. සාහිත්‍යය ලිපි වල කරුණු තහවුරු කර ගැනීමට මෙවැනි ලිපි වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම හේතුවයි. ඉහත ලිපිය වැදගත් වන්නේ සාහිත්‍යය මූලාශ්‍ර නොකියන ඉතිහාසයක් ඉදිරිපත් කරන නිසාවෙනි. මෙම ලිපියට අනුව 'දමරජුගේ' පුත් වනුයේ 'මහා තිස්ස' ය. ඔහුගේ දියණිය වන්නේ 'අබි ශවෙරය' කුමරිය යි. ඈ 'පචින බුමිය රජ මාතා' ලෙසින් ද හඳුන්ව යි. මෙහි 'දමරජු' කවරෙක්ද? එය විමසීමේ දී පහත ලිපිය වැදගත් වේ.

                "ගමිණි පුතෙ දශ බතිකන ජෙට ශව ජෙටහ පුතෙ
                 දමරජ දමරජහ පුතෙ මහතිශ අයෙ කරිතෙ ඉම
                 ලෙණෙ මහ ශුදශන ශගශ දිනෙ"

                 (ගාමිණීගේ පුතුන් වූ දශ බෑයන්ගේ ජ්‍යෙෂ්ටයාගේ
                  පුත්‍රයා වූ දම රජුගේ පුතු මහා තිස්ස කුමරු විසින්
                  කරන ලද මහා සුදර්ශන ලෙණ සංඝ්‍යාට පුදන ලදි)
                                                                      -බෙ‍ා්වත්තේගල විහාර ලිපි-
                                                                                                              ඉහත දක්වන ලද ආකාරයට 'දමරජුගේ' මුත්තනුවන් වනුයේ 'ගාමිණී' ය. පියා දශ බෑයන්ගෙන් වැඩිමලා ය. 'දමරජුගේ' පුතා 'මහා තිස්ස' ය. මෙහි එන 'ගමණි' නාමය තරමක් සුවිශේෂී වේ. එය වනාහි ප්‍රධාන රාජ්‍ය පාළකයෙකු වෙනුවෙන් යොදන ලද්දකි. ඒ අනුව මෙහි පැහැදිලිවම රාජකීය පවුලක් පිළිබඳ සඳහන් වන බව පැහැදිලි ය. 'ගාමිණී' ට පුතුන් දස දෙනෙකි. 'දශ බෑයන්' (සොයුරෝ දස දෙනා) වශයෙන් ඔවුන් හැඳින් වේ. ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයට පැමිණි කතරගම දස බෑ රජුන් මොවුන් තහවුරු කොට ඇත. පෙර දක්වන ලද ලිපියෙහි දස බෑයන්ගේ ප්‍රධානියා වශයෙන් 'ශෙව ජෙට' දක්වා තිබේ. 'දම රජු' වනාහි ඔහුගේ පුතා ය. මේ පිළිබඳ තවත් වැදගත් ලිපියකි මේ,

                "ගාමිණි පුතෙ රඣ උති රඣ උති පුත 
                 අය අබයශ ඣිත අබි අනුරදිය"

                 (ගාමිණීගේ පුත් උත්තිය රජුගේත් 
                  උත්තිය රජුගේ පුත් අය අබයගේත්
                  දියණිය අබි අනුරදීගේ ත් ය.)
                                                    -බෝවත්තේගල ලෙන් ලිපි-
                                                                                          මෙම ලිපියට අනුව 'ගාමිණී'ට 'උත්තිය' නමින් ද පුතෙකු විය. මොහු දශ බෑයන්ගෙන් අයෙක් හැටියට ද සිතිය හැක. 'උත්තිය' ගේ පුතා 'අභය' වන අතර ඔහුගේ දියණිය 'අනුරාධා' ය. ඒ අනුව 'දම රජු' වශයෙන් දස බෑයන්ගෙන් වැඩිමලා හඳුන්වා දිය හැකි ය. 'දම රජු' ගේ පුතා 'මහා තිස්ස' ය. ඔහුගේ දියණිය 'අබි ශවෙරය' වේ. ඕ 'පචින බුමිය රජ මතය' ලෙස ද හඳුන්වයි.
                                                                                                                                              මෙහි එන 'පචින බුමිය රජ' වැදගත් ය. 'පචින බුමිය' යනු 'ප්‍රාචීන භූමි' යන සකු වදනින් බිඳී ආවකි. අරුත 'නැගෙනහිර ප්‍රදේශය' යි. මේ අනුව මෙය රෝහණය හැඳින්වීම පිණිස යොදන ලද නාමයක් බව පැහැදිලි ය. ඒ අනුව 'රෝහණයේ පාළකයා' 'පචින බුමිය රජ' වේ. එකල 'පොචින රජ' හෝ 'පචින රජු' යනු ද මේ මය. බඹරගල ලෙන් ලිපියක 'පචින රජ නග' වශයෙන් සඳහන් ව තිබෙන්නේ 'මහා නාග උප රජු' බව පැහැදිලි ය. ඔහුගෙන් පසු මෙම නම 'යටාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස, දුටු ගැමුණු හා සද්ධාතිස්ස' යන අයට පිළිවෙළින් අයත් විය. මේ අනුව 'පචින බුමිය රජ මතය' යනු 'නැගෙනහිර හෙවත් රුහුණු පාළකයාගේ මව' හැඳින්වීමට යොදන ලද්දක් බව පෙ‍නේ. ඉහත දක්වන ලද ලිපි වලට අනුව 'අබි ශවෙරය' යනු මෙම 'රෝහණ පාළකයාගේ මව' යි. ඕ 'තිස්ස' ගේ දියණිය යි. මාදනකන්දේ එන 'අබි ශවෙරය' යනු 'විහාර මහා දේවිය' බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහසයි. දැනට විද්‍යාමාන ද්විතීයික මූලාශ්‍ර වලට අනුව එය පිළිගත හැකි සත්‍යයක් බව පෙනේ. 'අබි ශවෙරය' ගේ පියා 'මහා තිස්ස' ය. මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලද බොහෝ ඉතිහාසඥයන්ගේ මතය වන්නේ කැළණියේ පාළකයා 'මහා තිස්ස' වශයෙන් හඳුනා ගත හැකි බව යි. එ් අනුව 'අබි ශවෙරය' යනු වංශකතා වල එන 'දේවී' කුමරිය යි. බෝවත්තේගල ලිපියක 'උත්තිය' නැමැති රජෙකු පිළිබඳව ද දක්වා තිබේ. හෙතෙම දශ බෑයන්ගෙන් කෙනෙකි. (කැළණිතිස්ස රජුගේ බිසව සමඟ අනියම් සබඳතාවයක් ඇති කර ගත් උත්තිය විය හැක.)
                                                        මීට අමතර ව මුණ්ඩිකුලම්මලේ ලිපියක එන 'ශවෙර ශමනිය' යනු 'විහාර මහා දේවිය' බව පිළිගැනේ. මෙම නාමය මිහින්තලේ ලිපියක ද දක්නට ඇත. ඇතැම් විට 'විහාර මහා දේවිය' සිය ජීවිතයෙහි අවසාන කාළයෙහි ගිහි සැපත් අතැර පැවිදි වූ බව සිතන්නට හේතු නැත්තේ ම ‍නොවේ. 'ශවෙර ශමනිය' වශයෙන් හඳුන්වන්නට ඇත්තේ පැවිදි වූ පසු විය හැක.




Saturday, February 15, 2014

වල්ලිපුරම් රන් සන්නස

                                              වල්ලිපුරම් රන් සන්නස

                             
                          මේ ලිපිය නං ලියන්නෙ වල්ලිපුරම් රන් සන්නස ගැන වැඩිය විස්තර කරන්න නෙවෙයි. අපේ ඉතිහාසයට යන කල දසාව ගැන පොඩ්ඩක් පෙන්නල‍ා දෙන්න. මොකද අවුරුදු කීපයක‍ට කළිං වුණු දෙයක් මේ.
            මුළු ලංකාවේම පාළණය ගෙන ගියා කියල වසභ රජතුමාගෙ සෙල් ලිපි වලින් පැහැදිලි වෙලා තියෙනවනෙ. ඒ කියන්නෙ මුළු ලංකාවේ ම පාළණය ගෙන ගිය බවට සමකාළීන ද්විතීයික මූලාශ්‍ර ති‍යෙන්නෙ වසභ රජතුම‍ාගෙ විතරයි. මම මෙහෙම කියන්නෙ අනෙක් කිසිම රජෙකුගෙ නැති තරමෙ ලංකාවෙ හතර දිසාවෙම වසභ රජතුම‍ාගෙ සෙල් ලිපි තියෙන නිසා. ඉතිං මේ වල්ලිපුරම් රන් සන්නසත් වසභ රජතුමාගෙ කාළෙට අයත් වන බව පැහැදිලි කරගෙන තියෙනවා.


                                                                        මේ ලිපියෙ තියෙන්නෙ වසභ රජතුමාගෙ කාලෙ නාගදීපය පාළණය කරපු ඉසිගිර කියන ඇමැතිවරයා  කරපු විහාරයක් ගැන. ඒක ලිපියෙ තියෙන විදියටම දැම්මම මෙහෙමයි.

             "1. සිථ මහරජ වහයහ රජෙහි අමෙතෙ
              2. ඉසිගිරයෙ නකදිව බුජමෙනි
              3. බදකර අතනෙහි පියගුක-තිස
              4. විහර කරිතෙ"

              තේරුම -
                       යහපතක් ම වේවා! වහ (බ) මහරජුගේ රාජ්‍ය සමයෙහි අමාත්‍ය වූ
                       ඉසිගිර
                       නකදිව පාළණය කරන කල් හි පියගුකතිස බදකර-අතන නම්
                       ස්ථානයෙහි විහාරයක් කරවන ලදි.
                                                                              ‍මෙන්න මේකයි ලිපිය. මේ ලිපිය පසු ගිය කාළෙ එක එක කට්ටිය තමන්ට ඕන ඕන විදියට පරිවර්තනය කළා. මම ඉහළින් දැම්මෙ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයා දුන්නු අර්ථය. එක එක බුද්ධිමත්තු මේක තවත් පැහැදිලි කරල තියෙනවා. ඒත් පහු ගිය ක‍ාළෙ එක ජ‍ාතිවාදී ද්‍රවිඩ ලේඛකයෙක් මේක වැරදි විදියට පරිවර්තනය කළා උතුරෙ ද්‍රවිඩ උරුමයක් තියෙනවා කියල පෙන්නන්න. මේ ලිපියෙ කිසිම බ්‍රාහ්මී අකුරක නැති විදියට මේක පරිවර්කනය කරනවා දෙමළ භාෂාවට. උඩ අර්ථ විස්තරයත් එක්ක මේ පරිවර්තනය සසඳලා බලන්නකො.


                
        සිථ මෙහෙරජ වහයියහ රජයි අමයිථ
        ඉසයිකි රයන් අකදිව පුජමනි
        වඩකර් අත‍තෙහි වියකු(ක්) අනතිස
        විහර කරිතෙ
                        ඔහු කියන විදියට මේක පද්‍යයක්ළු. ඒ නිසා ඒක ගද්‍යයක් කර ගන්න ඕනෙළු. එහෙම කියල මේක මේ විදියට ගද්‍යයක් කරනවා.

           වදකර් අතනෙහි සිථ මෙහෙරජ වහයියහ
           රජය අමයිථ ඉසයිකි රයන් අකදිව පුජමනි
           වියකු ක් අතිස විහර කරිත

   තේරුම -
             උතුරේ ජනයින් සිටිනා පෙදෙසේ සිථමහාරාජ
             ශක්තිමත් ලොහොයෙන් සැකසුණු මිහිරි හඬින්
             යුත් ඝාණ්ඨාවක් පියා සිහිවීම පිණිස විහාරයට
             පිරිනැමී ය

                         මේ ලිපිය දි අයිලන්ඩ් පුවත් පතටයි දාලා තිබුණෙ. දැං ගොඩක් කල් හැබැයි. මේ පරිවර්තනේ විදියට ලිපියෙ තියෙන්නෙ ඔක්කොම දෙමළ වචන. මෙයා උතුරේ ජනයින් සිටින ප්‍රදේශයක් ගැන කියන නිසා ජනයො හිටියෙ නැති පැත්තකුත් තිබුණ ද දන්නෙ නෑ. හැබැයි ඉතිං ඝණ්ඨා‍රය යි විහාරය යි මෙයාට හරව ගන්න බැරි වෙලා. කොහොම උනත් අතීතයෙ ඉඳං උතුරෙ තිබුණෙ සිංහල පාළනයක් කියල පෙන්නන්න මේකත් හොඳ උදාහරණයක්. මේ සිංහල අභිමානයටත් නිදසුනක්.

නන් සුරන් බැතියෙන් - විශාරද බණ්ඩාර ආතාවුද


පුරාණ අනුරාධපුරය

                                     අනුරාධපුරය

                  සියවස් 15ක් පමණ කාළයක් පැවැති අනුරාධපුර රාජධානියේ අග නුවර ලෙස පැවතියේ අනුරාධපුරයයි. ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් ද, ශිෂ්ටාචාරයක් ද බිහි කළ අනුරාධපුරය සියලු අංගෝපායන්ගෙන් සපිරුණු නගරයක් ලෙසින් ද කීර්තියට පත් විය. මෙම පැරණි අග නගරය වර්තමානයේ බෞද්ධයින්ගේ පරම පූජනීයත්වයට පත් වූ විහාරාරාම වලින් සමන්විත වන අතර එය වර්ග සැතපුම් 16 ක හෙවත් වර්ග කිලෝමීටර් 40 ක භූමි භාගයක පැතිරී ඇත.

       අනුරාධපුරය එම නමින් ප්‍රකට වීමට පුද්ගලයන් කීප දෙනෙකුගේ ම ක්‍රියාවන් ඉවහල් වූ බව කිව යුතු ය. අනුරාධ නැමැති අමාත්‍යවරයා ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. විජය කුමරුන් සමග ඉන්දියාවේ සිට පැමිණි ඔහු ක්‍රි.පූ. 6 වන සියවසේ දී මල්වතු ඔය (කදම්භ නදී) ඉවුරු බඩ ඔහුගේ නමින් ජනාවාසයක් ඇරඹුවේ ය. ඔහුට අමතර ව අනුරාධ නම් වූ තවත් එක් කුමාරයෙක් ද මෙම ජනාවාසයේ නායකයා වී තිබේ. ඔහු විසින් කරවන ලද වැවක් ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මේ පිළිබදව සිංහල මහාවංශය විස්තර කරන්නේ මෙලෙසිනි.
            “නිමිත්ත ශාස්ත්‍ර දන්නවුන් ද එසේ ම වාස්තු විද්‍යා දන්නන් ද විචාරවා ඒ ගම්හිම උතුම් නුවරක් ඉදි කරවී. (විජය කුමරු ඇමති වූ ද භද්‍රකතළ්‍යායන බිසවුන්) බෑ වූ ද අනුරාධයන් දෙදෙනාගේ නිවාස හෙයින් ද අනුරේ නකතින් පටන් ගත් හෙයින් ද අනුරාධපුර නම් වී.”
            අනුරාධපුර නගරයේ සංවර්ධනය සදහා බොහෝමයක් රජවරුන්ගේ දායකත්වය හිමි වීම ප්‍රසිද්ධ කරුණකි. එසේ වුව ද එය අග නගරය කොට මනා සැළැස්මකින් කටයුතු කළ පණ්ඩුකාභය රජුගේ ක්‍රියා කළාපයන් පිළිබද වෙසෙසින් සලකා බැලිය යුතු ය. හෙතෙම නගරය පමණක් නොව අවට පරිසරය ද ක්‍රමානුකූල ව සැකසීමට මහත් වෙහෙසක් දැරුවේ ය. මෙය,
                        “ජය ලත් කළ දිය නෑ හෙයින් ජය වැව යැයි නම් වී. නුවරට නැගෙනහිර කාළවේල යක්ෂයා පිහිට වී. හෝ කාළවේල යකු දෙවොල ඉදි කළේ ය. ඒ චිත්‍රරාජ යකු අභයවාපී යට භාගයෙහි වාසය කරවී ය. යක්ෂ යෝනියෙහි උපන්නා වූ පූර්වෝපකාරී එම දාසිය නුවර දකුණු දිග් දොර කෙළෙහි ගුණ දන්නා ඒ තෙම වාසය කරවී. වළවාමුඛ යකිනි රජ ගෙවුයන් ඇතුළත වැස් වී. උන්ට ද අන්‍යයන්ට ද අවුරුදු පතා බලි දානය කරවී. නකත් කෙළි දවස් හි දී ඒ පණ්ඩුකාභය රජ තෙමේ චිත්‍රරාජයා සමග සම අස්නෙහි හිද දෙව් මිනිස් නැටුම් කරවමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇල වී. දොරගම් සතරද අබා වැව ද එසේ ම මහත් සොහොන් භූමිය හා දම් ගෙඩිය හෝ වාසස්ථානය ද බටහිර රැජින ද වෙසවුණුයා (දෙවොල) ද වැදි දෙවියා තල් (දෙවොල ද) සභාග වස්තුව ද ප්‍ර‍භ්‍ෙද ගෙය ද යන මෙතෙක් දෑ බටහිර දොර දිශා භාගයෙහි ඒ රජ තෙම පිහිට වී. නගර ශෝධන පන්සියයක් සැඩොල් මිනිසුන් ද වර්චස්ශෝධක දෙවිස්සක් සැඩොල් පුරුෂයන් ද මළ මිනී බැහැරගෙන යන්නා වූ එක්සිය පණසක් සැඩොලුන් ද එතෙක් ම (එක්සිය පණසක්) සොහොන් ගොවු සැඩොලුන් ද සොහොනින් වයඹ දිග උන්ගේ ගම් ද පිහිට විය. ඒ මිනිසුන් විධි වූ පරිද්දෙන් ඒ කර්මයන් කළාහු ය. ඒ සැඩොල් ගමට ඊසාන දිග් හි නීච සුසාන යැයි නම් ලත් සැඩොලුන්ගේ සොහොන කරවී. ඒ සොහොනින් උතුරු දිග පහන් පව් අතර වැද්දන්ගේ ගෙවල් පෙළ සිටුවන ලද්දේ විය. ”
    මහාවංශයෙහි එලෙසින් දැක් වුව ද පණ්ඩුකාභයට මෙසේ මෙම නගරය ක්‍රමානුකූලව නිර්මානය කිරීමට අනුරාධ ඇමති විසින් කර තිබූ කාර්යයන් ද ඉවහල් වන්නට ඇත. කෙසේ වෙතත් මල්වතු ඔය (කදම්භ නදී) ආශ්‍රිතව පිහිටා ඇති මෙම නගරය මෙලෙසින් ඔයක් ඇසුරු කරගෙන පිහිටා තිබීමත් නගරයේ දියුණුවට හේතු වන්නට ඇත. සේන-ගුත්තික යන ආක්‍රමණිකයින් දෙදෙනා විසින් මල්වතු ඔය නගරය වටා ගෙන ගිය බව කියැ වේ. ඊට හේතුව ඔවුන් ජෛනයන් වීමත්, ජලය ජෛන ආගමේ පාරිශුද්ධ වස්තුවක් වීමත් ය.
                            ඉහතින් දක්වා ඇති කරුණු කාරණා වලට අමතර ව මහින්දාගමනයෙන් පසුව ලක්දිව සියලු අංශයන් තුළ විශාල වෙනසක් සිදු කිරීමට සමත් වූ දර්ශණයකුත්, එම දර්ශණයේ ප්‍රමුඛ මධ්‍යස්ථානය ලෙසත් අද ද ජනාදරයට පත්ව තිබෙන “මහා මේඝ වන” හෙවත් “මහමෙව්නා උයන” කරවන ලද්දේ ද පණ්ඩුකාභයගේ පුත් මුටසීව විසිනි. ලංකාවට බුදු දහම රැගෙන එන ලද්දේ ඔහුගේ පුත් තිස්ස රාජ්‍යය සමයේ දී ය. එනම් සම්බුද්ධ පරිණිර්වාණයේ සිට වසර 236 කට පසුව ය.
        අනුරාධපුර නගරය ගිණිකොන හා වයඹ යන වරායවල් මධ්‍යයේ පිහිටියකි. නගරය ප්‍රධාන වීථි තුනකින් සමන්විත වූ අතර ඒ වටා වූ ඝණ කැලෑව ආරක්ෂාව අතින් බොහෝ උපකාරී විය. බොහෝ ඈත අතීතයේ දී පවා එහි ජීවත් වූ ජනයා මැටි භාජන පරිහරණය කළ බවට ද, සතුන් යොදාගෙන වී ගොවිතැන් කළ බවට ද සාධක හමු වී තිබේ. ඇතුලු නුවර කළ කැනීම් වලට අනුව , එම තොරතුරු වලට අමතර ව ආදී වාසීන්ගේ තවත් තොරතුරු සමඟ ක්‍රි.පූ. 900 පමණ කාළයේ දී දියුණු ලෝහ ශිල්ප ක්‍රමයක් ද තිබූ බව අනාවරණය වීම විශේෂිත ය. මේ පිළිබඳ විමසීමේ දී ශිරාන් දැරණියගල මහතාගේ කැනීම් ප්‍රධාන තැනක් ගනී.
                            අනුරාධපුර රාජධානිය වසර 1400 ක් පමණ වූ අතිශය දීර්ඝතම රාජධානිය යි. පණ්ඩුකාභයගේ පටන් 5 වන මිහිඳු දක්වා රජවරු 150 කට අධික සංඛ්‍යාවක් අනුරාධපුර අග නගරය කොටගෙන රජකම් කර තිබේ. ඇතැම් විට මෙම රාජධානියේ සිංහල බෞද්ධ රජවරුන් සේ ම විදේශීය ද්‍රවිඩ රජවරු  (උදා:- සූරතිස්ස රජු මරා රජ වූ සේන-ගුත්තික අශ්ව වෙළෙඳුන් දෙදෙනා, අසේල කුමරු මරා රජ වූ එළාර) බොහොමයක් විය. එකල වන විට මෙසේ විදේශීය බලපෑම් ලංකාව කෙරේ එල්ල වීමට ප්‍රධාන හේතුවක් වූයේ එකල වුව ද ලක්දිව වටිනාකම ඔවුන් ද විශේෂයෙන් දැන සිටීම විය හැක. ඇතැම් විට සෞභාග්‍යමත්, ධනවත්, ආඪ්‍ය රාජ්‍යයක් වශයෙනුත්, දකුණු ඉන්දියාව පවා තරමක් පාළණය කළ හැකි වීමත්, පෙරදිග ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වීමත් ලක්දිව කෙරේ විදේශ බලපෑම් ඇති වීමට හේතු වූ බව පෙනේ.
                    ලංකා ඉතිහාසයෙහි අතිශය සමෘද්ධිමත් යුගය වශයෙන් අනුරාධපුර රාජධානි සමය පවතින විට එයට නා නා විධ වූ තර්ජනයන්ට මුහුණ පෑමට සිදු වීම අරුමයක් නොවේ. කෙසේ වෙතත් ප්‍රස්තුතානුරූපීව ගෙන බලන විට අනුරාධපුර නගරය සේ ම රාජධානිය ද මෙහි ලා විශේෂිත ස්ථානයක් හිමි කර ගනී.
    දිවයිනේ ප්‍රධානතම නගරය ලෙස පැවති අනුරාධපුරය ක්‍රි.පූ. 8-7 වන ශතවර්ෂ වල සිට ම ක්‍රමානුකූලව වර්ධනය වූ නගරයක් ලෙස ත්, රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ලෙසත්, රාජ්‍ය පරිපාළණ මධ්‍යස්ථානය ලෙසත් සකස් වීම පිළිබඳ ප්‍රථම වරට වංශකතා වල සඳහන් වන්නේ පණ්ඩුකාභය හා සම්බන්ධ ක්‍රි.පූ. 4 පමණ වන ශතවර්ෂ වලට දින නියම කළ හැකි කතා පුවත් වල බව පෙර සඳහන් කරන ලද්දෙමු. පණ්ඩුකාභය හා සම්බන්ධ විස්තරයේ දැක්වෙන අනුරාධපුරය මහාවංශය ලියැවුණු ක්‍රි.ව. 6 වන ශතවර්ෂයේ එම නගරයේ තත්වය සමඟ ද සම්මිශ්‍රිතව ලියැ වී ඇතැයි සිතීම සාධාරණ ය. හේතුව වන්නේ සමකාළීන තත්වයන් රචිත ග්‍රන්ථ කෙරේ නිරායාසයෙන් බලපාන බැවිනි.
            කෙසේ වුව ද විවිධ අවස්ථා වල වර්ධනය වන ලද අනුරාධපුරයෙහි රජුන් සහ ප්‍රභූන් ජීවත් වූ ද, පරිපාළණ මධ්‍යස්ථානය ලෙස පැවතියා වූ ද, ස්ථානය සෑම විට ම පවුරකින් වට වී තිබිණි. වර්තමානයේ දකුණු දෙසින් ඇතුළු විය හැකි මෙම ස්ථානය ඇතුළු නුවර නැතහොත් Citadel යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය අනුරාධපුර තැනි තලාවේ උස් ම භූමියේ පිහිටා ඇත.
                            ශිලා ලිපි වලට අනුව “ඇත්නකර” යනුවෙන් හඳුන්වනු ලබන මෙම භූමියේ නටඹුන් සෙවීමෙහි මූලිකයා වූයේ 19 සියවසේ අග භාගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් ය. ඔහු 1893 දී සිය පාලන වාර්තාවේ මේ පිළිබඳ සඳහන් කර ඇත. මෙයින් පසු හෙන්රි පාකර්, අයර්ටන්, පී.ඊ.පී දැරණියගල, පී.ඩී සෙස්ටියරි, එස්. පරණවිතාන, සී.ඊ ගොඩකුඹුර යන විද්වතුන් ඇතුළු නුවර පිළිබඳ ව අවධානය යොමු කළ අතර ඉතා මෑතක දී මෙම ප්‍රදේශයේ සමහර ස්ථාන වල කැණීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් තැන්පත් ශිරාන් දැරණියගල විසිනි. ඔහුගේ අවධානයට යොමු වූ ප්‍රධාන ස්ථාන තුනක් වූයේ ගෙඩිගේ නම් ගොඩනැගිල්ලත්, ජනාවාස වර්ධනය පිළිබඳ ව සෙවීමට කැණීම් කිරීම සඳහා තෝරාගත් ස්ථානයත්, නගර ප්‍රාකාරයත් ය.
                        ශිරාන් දැරණියගලයන් විසින් පෙන්වා දී ඇති පරිදි වසර 7000 කට පමණ ඉහත දී වැදි පරපුරේ මී මුත්තා වූ ඔස්ට්‍රොලොයිඩ් වර්ගයට අයත් මධ්‍ය ගල් යුගයේ මානවයා විසින් අනුරාධපුරය ජනාවාස කරන ලද්දේ ය. මෙම මානවයාගෙන් පැවත ආ අය විජය කතා පුවතින් පිළිබිඹු වන කාලපරිච්ඡේදයට ශතවර්ෂ 2 කට පමණ පෙර එනම් ක්‍රි.පූ. 800 දී පමණ යකඩ භාවාතය හා වී වගාවත්, කුඹල් කර්මාන්තයත්, මැටි බඳුන් උපයෝගී කොටගෙන ආහාර පිසීමත් දැන සිටි සෑහෙන දුරකට ශිෂ්ටත්වය සඳහා එළැඹුණු පිරිසක් වූහ. ඔවුහු යටත් පිරිසෙයින් ක්‍රි.පූ. 400-350 පමණ වන විට රූප අක්ෂර ලිවීමද දැන සිටියහ. මේ කාළය වන විට ඉන්දියාව වැනි ආසන්න රටවල් සමඟ ඔවුන් වෙළඳ සම්බන්ධතා ද ඇති කරගෙන සිටි බව කැණීම් තුළින් මේ හා ආසන්න කාළයට දින නියම කළ හැකි කාර්නේලියන් පබළු හමු වීමෙන් පෙනී යයි. කාර්නේලියන් පබළු ලංකාවට ආවේණික නොවන අතර ඒවා ඉන්දියාවෙන් බෙහෙවින් හමු වේ. වලාහස්ස ජාතකයේ ඉන්දියාව හා ලංකාව අතර පැවැති වෙළඳාම පිළිබඳ දැක්වෙන තොරතුරු වලිනුත්, මහාවංශයේ විජය-කුවේණි කතා පුවතේ නැව් වලින් ලංකාවට ආ වෙළෙන්දන් ගැන දැක්වෙන තොරතුරු වලිනුත් සනාථ වන්නේ මේ වෙළඳ කටයුතු පිළිබඳවයි. මුල දී ගමක් ලෙස පැවැති අනුරාධග්‍රාමය පණ්ඩුකාභය කතා පුවතින් පිළිබිඹු වන ක්‍රි.පූ 4 වන ශතවර්ෂය වන විට නගරයක් හා පරිපාළණ මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වී තිබිණි. ක්‍රි.පූ 3 වන ශතවර්ෂයේ දී රාජ්‍ය අනුග්‍රහයෙන් බුද්ධාගම හඳුන්වා දී ජනප්‍රිය කරවන ලද දේවානම්පියතිස්ස රජුගේ කාළයේ දී රාජ්‍ය මධ්‍යස්ථානය වූ ඇතුළු නුවර ආරක්ෂාව උදෙසා පවුරකින් වට කොට තිබිණි.
    කාළයාගේ ඇවෑමෙන් විවිධ ස්වරූපයෙන් වර්ධනය වූ මෙම පවුරෙහි සතර දිශාවෙහි ම දොරටු අසළ නිරන්තරයෙන් භටයින් ගැවසුණු මුර කුටි ඉදි කොට තිබිණි. ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයෙහි දුට්ඨගාමිණී-එළාර කතා පුවතෙහි යුද්ධ පිළිබඳ දැක්වෙන තොරතුරු වල මෙම පවුරේ දොරටුව ගැන සඳහන් වේ. පවුරේ දකුණු වාසල් දොරටුව අසළ දී දුට්ඨගාමිණී-එළාර සටන සිදු වූ බවත්, එහි දී එළාර ජීවිතක්ෂයට පත් වූ බවත් මහාවංශය සඳහන් කරයි. ක්‍රි.පූ. 1 වන ශතවර්ෂයේ දී  පමණ කූටකණ්ණතිස්ස රජු විසින් පවුර උස් කරවා බඳවා ඒ වටා දිය අගලක් ද කරවී ය. ක්‍රි.ව. 67-111 අතර කාළයේ රජ කළ වසභ රජු ප්‍රාකාරය තවත් උස් කරවන ලද අතර එයින් පසු අනුරාධපුර රාජධානි කාළය පුරාම එය විටින් විට ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත් කරන ලදි. උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සතර දිසාවන්හි ම කරන ලද කැනීම් මඟින් මෙම ප්‍රාකාරයේ නටඹුන් සොයාගෙන ඇත. ප්‍රාකාරයේ පදනම හා එක්තරා උසක් ගල් වලිනුත්, ඉහල කොටස ගඩොල් වලිනුත් තනා තිබූ බවට සාක්ෂි ඇත. පවුරෙන් ඔබ්බෙහි දිය අගලක් පැවැති බව ද, එයත් ආරක්ෂක හේතූන් මත සකස් කරන ලද්දක් බව ද වංශකතාවන් හි සඳහන් වේ.
                                            අනුරාධපුර රජ දරුවන්ගේ මාලිගා වල නටඹුන් මෙම ඇතුළු නුවර පස් තට්ටු වලින් වැසී තිබෙන්නට පිළිවන. ක්‍රි.ව. ගණන් වලට ඇතැම් විට අයත් මේවා මෙතෙක් ගවේෂණය කර නැත. ක්‍රි.ව. 11 වන ශතවර්ෂයේ 1 වන විජයබාහු (1070-1110) රජු සොළීන් නෙරපා පුළතිසිපුර රාජ්‍ය මධ්යස්ථානය ඉදි කිරීමට පෙර අනුරාධපුර තුන් මසක් රජ කළ අවධියේ ඉදි කරන ලද රජ මාලිගයේ පදනම පමණක් සෙනරත් පරණවිතාන මහතා විසින් සංරක්ෂණය කර ඇත.
            කෙසේ වුව ද රජ මාලිගා ආසන්නයේ ඉදි කොට තිබුණු දළදා මාලිගයේ නටඹුන් දැනුත් දකින්නට පිළිවන. ක්‍රි.ව. 4 වන ශතවර්ෂයේ ශ්‍රී මේඝවණ්ණ (301-328) රජු දවස දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමෙන් පසු එය රාජ්‍ය ආරක්ෂාව යටතේ පැවතිණ. පුරාවිද්‍යා කැණීම් වලින් පාදා ස්ථාපනය කොට ඇති ගෙඩිගේ නම් ගොඩ නැගිල්ල ද දන්ත ධාතු මන්දිරයක් ලෙස ඉදි කරන ලද්දකැ‘යි ඇතැමුන් විශ්වාස කළ ද එම අදහස පිළිගත නොහැක. නාවුල ආසන්නායේ ඇති නාලන්දා ගෙඩිගේ සහ පොළොන්නරුවේ ඇති ගෙඩි ගෙවල් මෙන් එයත් වෙනත් අරමුණකින් ඉදි කරන ලද ගොඩනැගිල්ලකැ‘යි සැලකීම වඩා නිවැරදි ය. මෙය බොහෝ දුරකට ප්‍රතිමාඝරයක් ලෙස සැලකිය හැකි ය. එහි ගෘහ නිර්මාණ ලක්ෂණ තුළින් පිළිබිඹු වන්නේ එය ඉදි කර ඇත්තේ අනුරාධපුර රාජධානියේ අවසාන භාගයේ දී, එනම් ක්‍රි.ව. 9-10 ශතවර්ෂ වල දී බව ය. දළදා මාලිගය එයට බොහෝ කාළකට පෙර ඉදි කරන ලද අතර, ගෙඩි ගෙයට නුදුරින් එහි නටඹුන් දක්නට පිළිවන.
        දළදා මාලිගය හා ගෙඩිගෙය අතර පිහිටි “මහාපාළි දාන ශාලාව” ක්‍රි.පූ 3 වන සියවසේ දී දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බවත්, එහි නඩත්තුවට රජු විවිධ ප්‍රදානයන් කළ බවත් මහාවංශයේ දැක් වේ. එයින් පසු විවිධ රජවරු විසින් එය වැඩි දියුණු කරන ලද අතර, රජවරුන්ගේ විශාල දාන උත්සව එහි දී පැවැත්විණ. 2 වන උපතිස්ස රජු රජ මාලිගයේ මුළුතැන් ගෙයින් පිසින ලද ආහාර (රාජ භෝජන) මහාපාලි දාන ශාලාවට යවන ලද බවත්, රජු ද දාන ශාලාවෙන් අහාර ගත් බවත්  චූල වංශය සඳහන් කරයි.
        භික්ෂූන් වහන්සේලාට රජු විසින් විටින් විට දානය පිළි ගන්වන ලද ස්ථානයක් වූයේ මහාපාලි දාන ශාලාවයි. එය “මහාපාලි” යනුවෙන් හඳුන්වන ලද්දේ භික්ෂූන් වහන්සේලා දන් පිළි ගැනීම උදෙසා පෙළ ගැසුණු නිසා යැයි අදහසක් පවතී.
                                                එසේ පෙළ ගැසුණු භික්ෂූන් වහන්සේලාට පිළිගැන්වීමට බත් තැන්පත් කොට තිබුණේ යැයි සිතිය හැකි අභයගිරිය හා මිහින්තලේ විහාරයන් හි දක්නට ඇති ආකාරයේ ම විශාල බත් ඔරුවක් අදත් මහාපාලි දාන ශාලාවේ දක්ටන ලැබේ. අද දැක්වෙන විශාල බත් ඔරුව දෙවන අග්බෝ රජු (604-614) විසින් ඉදි කරවන ලද බවට චූලවංශයේ සඳහන් වන ඔරුව විය හැක. එම බත් ඔරුවේ අමතර දිග (මතුපිට) අඩි 27 අඟල් 6 කි. පළල අඩි 5 කුත් අඟල් 3කි. මෙහි පිටත බිත්ති මුහුණත ශිලා ලිපි කිහිපයක් දක්නට ලැබෙයි. මෙම බත් ඔරුව තුළ මළ නොබඳින තඹ තහඩුවලින් සැකසූ පෙට්ටියක් බහා තිබූ බවත්, ඒ තුළ තැන්පත් කරන ලද බත් දානය ලෙස පිළිගන්වන ලද බවත් විශ්වාස කිරීමට සාක්ෂි ඇත. බත් ඔරුව තුළ ඇති එක් ශිලා ලිපියක “මහපෙල” යන පද කිහිපය දක්නට ලැබෙයි. මෙම බත් ඔරු චූලවංශයේ “හත්ථනාව” යන පදයෙන් සඳහන් වෙයි. මාළු පිණි පිළිගැන්වීමටත් කුඩා ගල් ඔරු තිබෙන්නට ඇත.
        මෙම වටිනා නටඹුන් අන්තර්ගත ඇතුළු නුවර දළ වශයෙන් අක්කර 250 ක පමණ භූමි භාගයක විහිඳී ඇත. උතුරේ සිට දකුණට සැතපුම් තුන් කාළක් ද, නැගෙනහිර සිට බටහිරට සැතපුම් භාගයක් ද පමණ වන මෙම භූමි භාගයෙහි උතුරේ සිට දකුණට විහිඳුන වීථියෙහි නාමය මූලාශ්‍ර වලට අනුව “මඟුල් මහා වීථිය” යි. මෙයට අමතර ව සිඟුරුවාන වීථි, චන්ද්‍රවංක වීථි, මහවැලි වීථි නමින් වීදි කීපයක් ඇතුළු නුවර දක්නට විය. මෙහි පොළොව යටින් ජල වහනය උදෙසා සවි කර තිබූ ටෙරාකොටා නළ රාශියක් ම කැණීම් මඟින් හමු වී ඇත. ඉතාමත් මැනැවින් සැලසුම් කරන ලද සනීපාරක්ෂක විධි ඇතුළු නුවර ක්‍රියාත්මක වූ බවට මෙම ජලනල සාක්ෂි දරයි.
    එමෙන් ම කොරහ, මුට්ටි, හැලි, ඇතිලි, පාත්‍ර වැනි මැටි භාණ්ඩ රාශියක් ද පුරාවිද්‍යා කැණීම් මඟින් සෙනරත් පරණවිතානයන් විසින් සොයා ගන්නා ලදි. ඒ සියල්ලට ම වඩා වැදගත් වන්නේ ඔහු විසින් සොයා ගන්නා ලද කේෂර සිංහයෙකුගේ රූපය අන්තර්ගත රන් ආලේපිත මුද්රාවයි. සිංහ රූපය දෙපස පහන් දෙකක් ද දක්නට ඇත. මහනුවර රාජධානියේ ධජයේ සිංහ රූපයකට මෙය බොහෝ දුරකට සමාන ය. මෙය පැරණි සිංහල රජවරුන්ගේ රාජකීය මුද්‍රාව යැයි අනුමාන කිරීමට පිළිවන.
        රජුන්, රජ පවුලේ සාමාජිකයින්, ඇමතිවරුන්, පරිපාළණයේ අනෙකුත් ප්‍රභූන් වූ සේනාපති, භාණ්ඩාගාරික වැනි නිළධාරීන්, චීනය, ඉන්දියාව, ග්‍රීසිය වැනි රටවලින් පැමිණි තානාපතිවරුන්, වෙළඳ ශ්‍රේණි වල නායකයින් සහ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක් ද වාසය කළ ඇතුළු නුවර අතීතයේ දී තේජාන්විත වූ ද, බොහෝ වස්තු සම්පත් බහුල වූ ද මධ්‍යස්ථානයක් විය. රජුන්ගේ හා ප්‍රභූන්ගේ පවුල් වල අවශ්‍යතා ඉටු කරන ලද ඉතා ඉහල ගණයේ වෙළඳ මධ්‍යස්ථාන ද ඇතුළු නුවර තිබුණේ යැ යි නිගමනය කිරීම සාධාරණ ය. දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගේ කොල්ලකාරී හස්තයටත්, රට තුළ කැරලි කරුවන්ගේ අවධානයටත් ඇතුළු නුවර ලක් වූයේ මේ නිසා ය. මේ නිසා ම රාජ්‍ය බලය හා සම්බන්ධ කුමන්ත්‍රණ හා ඝාතන රාශියක් ද මෙම ස්ථානයේ සිදුව තිබේ.
                    මහා රත්තක වැනි සේනාධිපතිවරුන් රජුන් මරා රාජ්‍ය බලය පැහැර ගත්තේත්, කණිරජානුතිස්ස වැනි කුමරුවන් වැඩිමහල් සොහොයුරන් මරා සිංහාසනාරූඪ වූයේත්, ලම්භකර්ණ වැනි ප්‍රභූ පිරිස් ඇතැම් විට මාලිගා තුළ ම රජුන් සිර කොට තබන ලද්දේත්, සුභ නම් දොරටු පල්ලා යසලාලකතිස්ස රජු මරවා රාජ්‍ය ලබා ගත්තේත් මෙම ඇතුළු නුවර දී ය. රාජ වංශ හා ඉතිහාසය එබඳු අමිහිරි සිදුවීම් වලින් ගහණ ය.
        ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන හා විහාරාරාම පිට නුවර ඉදි කොට තිබුණ අතර මුළු නගරයේ ම ජල අවශ්‍යතා උදෙසාත්, නගරයෙන් බැහැරව පැවතියා වූ ජනාවාස වල කෘෂි අවශ්‍යතා උදෙසාත්, බටහිරින් තිසා වැව සහ බසවක්කුලම යන ප්‍රධාන වැව් දෙකත්, නැගෙනහිරින් නුවර වැව නම් ප්‍රධාන වැවත් තනවා ඇත. ආගමික මධ්‍යස්ථාන වල ඔබ්බේ සාමාන්‍ය මිනිසුන්ගේ ජනාවාස, වෙළඳ වීදි යනාදිය පැවතිණි. අනුරාධපුර නගරයේ නිවාස අලංකාර වූ බවත්, මාර්ග මැනැවින් සකසා තිබූ බවත් ෆාහියන් හිමි දක්වයි. මහාවංශයේ පණ්ඩුකාභය කතා පුවතේ නගර සැකැස්ම ගැන දැක්වෙන තොරතුරු යටත් පිරිසෙයින් මහාවංශය ලියැවුණු කාළයේ තොරතුරු යැයි සළකතොත් අනුරාධපුර රාජධානි සමයේ මධ්‍ය භාගය වන විටත් පිට නුවර විවිධ ස්ථාන වල නගර ශෝධකයින්ගේත්, කසල ශෝධකයින්ගේත් වාසස්ථාන දක්නට ලැබිණැ‘යි සිතිය හැක. සාමාන්ය මිනිසුන්ගේ වාසස්ථාන ඉතා ඉක්මනින් දිරා යන ද්‍රව්‍ය වලින් සකසා තිබුණ හෙයින් අනුරාධපුරයේ පිට නුවර පැවති වාසස්ථාන රටාව පිළිබඳව නිශ්චිතව ම යමක් කීම අපහසු ය. පණ්ඩුකාභය පිළිබඳව ඇති මහාවංශ කතා පුවතින් ම විවිධ වූ කණ්ඩායම් වලට අයත් සුසාන භූමි, “යොන” නමින් හඳුන්වන ලද විදේශිකයින්ගේ වාසස්ථානයට වෙන් කරන ලද ස්ථාන පිට නුවර පැවති බව තීරණය කළ හැක. පිට නුවරින් ඔබ්බේ කෘෂි ජනාවාස පැවතිණ. මෙම ජනාවාස සමාජ තත්වයන් මත ස්ථර ගත වූ බව “චණ්ඩාලග්‍රාම, දඩයම් කරුවන්ගේ වාසස්ථාන” යනාදිය පිළිබඳව දැක්වෙන කතා පුවත් වලින් නිගමනය කිරීමට පිළිවන.
            මහාවංශයේ පණ්ඩුකාභය කතා පුවතින් අනුරාධපුර නගරය පාළණය උදෙසා නගර ගුත්තික නම් නිළධාරියෙකු පත් කර සිටි බවත්, රාත්‍රී කාළයේ දී පවා නගර ආරක්ෂක කටයුතු මැනැවින් සංවිධානය කොට පැවති බවත් නිගමනය කළ හැක. මේ අනුව අනුරාධපුරය ඉතා මැනැවින් සංවිධිත නගරයක් ලෙස පැවැති බව නිගමනය කිරීමට කිසිදු අපහසුතාවයක් නැත. රාජධානියේ පරිහානියත් සමඟ එහි වැදගත් කම අඩු වුව ද, 13 වන ශතවර්ෂය දක්වාම අනුරාධපුරය වැදගත් නගරයක් ලෙස පැවතිණි. 

            මීට අමතර ව අනුරාධපුර නගරය කේන්ද්‍ර කොටගෙන මාර්ග පද්ධති කීපයක් ම විහිඳී ගොස් තිබිණි. අනුරාධපුර හා යාපන අර්ධද්වීපයෙහි ජම්බකෝල පට්ටනය සමඟ එක් මාර්ගයක් විය. අනුරාධපුරය හා ජම්බුකොළ මාර්ගයේ මල්වතු ඔය හරහා පැවති එක් පාළම කනු සමඟ ඇතැම් පුවරු දැනුත් අනුරාධපුර ආසන්නයේ දකින්නට ලැබේ. මෙම මාර්ගය පාවක්කුලම වැවේ දිය නිකුත් වන ස්ථානය ඔස්සේ ද සකස් කොට තිබුණේ තවත් ගල් පාළමක් හරහා ය. අනුරාධපුර, රඹෑව, පාවක්කුලම්, ඕමාන්තායි සහ වව්නිකුලම් ඔස්සේ යාපන අර්ධද්වීපයටත්, එතැනින් ජම්බුකෝල පට්ටනයටත් මෙම මාර්ගය සම්බන්ධ විය. ඉන්දියානු හමුදා ඇතැම් විට ජම්බුකෝල පට්ටනයේ සිට උතුරු මැද තැනිතලාවට පැමිණියේ මේ ඔස්සේ ය. දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250-210) රජුගේ කාලයේ ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයට ගෙන ඒමේදීත්, සංක්‍රමණ වලදීත් භාවිතා වූ මෙම මාර්ගය රජරට සභ්‍යත්වය පැවැති ක්‍රි.ව. 12 වන ශතවර්ෂය දක්වාම වැදගත් විය. යාපන අර්ධද්වීපයේ දී ජම්බුකෝල පට්ටන සිට ඌරාතොට සමඟ ද මෙම මාර්ගය සම්බන්ධ විය.

    තවත් ප්‍රධාන මාර්ගයක් මහාතිත්ථ හෙවත් මාන්තායි වරාය සමඟ අනුරාධපුරය සම්බන්ධ කළේ ය. වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයේ දී අතිශය වැදගත් මාර්ගය වූ මේ ඔස්සේ දක්ෂිණ භාරත ආක්‍රමණිකයෝ ද බොහෝ අවස්ථා තුළ රට තුළට පැමිණියහ. දකුණු ඉන්දියාවේ සිවිල් යුද්ධ වල දී සිංහල රජුන්ගේ මිත්‍ර පාක්ෂික කුමාරවරුන්ට ආධාර හමුදා යැවීමේ දී ත්, අනුරාධපුර රාජ්‍ය අල්ලා ගැනීම සඳහා දකුණු ඉන්දියානු භට හමුදා වල ආධාරය ලබා ගත් සිංහල කුමාරවරුන් එම හමුදා කැටිව ලංකාව තුළට ඒමේ දී ත් මේ මාර්ගය විවිධ අවස්ථා වල දී භාවිත කරන ලදි.
                                අනුරාධපුරයේ සිට ඒ අවට පෙදෙස් වලට තවත් බොහෝ මාර්ග විහිද ගියේ ය. නගර දොරටුවෙහි සතර දිශාවේ ගේට්ටු සතරක් වූ අතර මිහින්තලේ පටන් අනුරාධපුරය දක්වා වූ මාර්ගය නැගෙනහිර දොරටුව සමඟ සම්බන්ධ විය. යාපන අර්ධද්වීපය සමඟ නගරය සම්බන්ධ වූයේ උතුරු දොරටුවේ සිට විහිද ගිය මාර්ගයෙනි. බටහිර හා දකුණු දොරටු ද මේ ආකාර මාර්ග පද්ධතියක් සමඟ සම්බන්ධ වූ බව අනුමාන කළ හැක.

රාවණාගේ ශිලා ලිපි ඇත්තක්ද?

රාවණා‍ගේ ශිලා ලිපි ඇත්තක්ද?

                          මේ දවස් වල ටිකක් වැඩි පුර කතාවට ගැනෙන මාතෘකාවක්නෙ දසිස් රාවණා කියන්නෙ. මම මේ හදන්නේ රාවණා චරිතයේ ඇත්ත නැත්ත ටිකක් කියන්න. එක්කෙ‍ා එහෙම කිව්වෙ‍ාත් වැරදියි. දැනට පවතින කතාව ඇත්තද? බොරුද? කියල‍ා කියන්න කියමුකො.
                                                            ඇත්තටම රාවණා කියන්නෙ ඉන්දියාවෙ හිටපු මහා ඍෂිව‍රයෙක් වුණු වාල්මිකී කියන ඉසිවරයා ලියපු රාමායනයෙ එන චරිතයක්. රාමායනය ලියන්නෙත් කෙ‍ාස්වා ලිහිණි ජෝඩුවකට වෙච්ච ඛේදවාචකයක් දැකලා කියල කියනවනෙ. කොහොම හරි ඕකෙ සීත‍ාව පැහැරගෙන එන චරිතෙනෙ රාවණා. මුල් ම වතාවට ලංකා කියන වචනෙ කියවෙන්නත් ඔතන තමයි ඉතිං. ඒකනෙ දැං මේ තියෙන කතාන්දර ඔක්කොටම මුල. හැබැයි මෙහෙ ම දේකුත් තියෙනවා. ඔය සංස්කෘත පොත් එකකවත් රාවණා ලංකාවෙ ඉපදුනා කියල නං නැහැ. රාවණා රජතුමාගෙ උපන් බිම ඉන්දියාව.ඒක නං පැහැදිලිවම තියෙනවා. දැං මෙතන තියෙන ගැටළුව මේකයි. සමහර අය රාවණා ගැන සෙල් ලිපි වලත් තියෙනවා කියලා කියනවනෙ. ඒත් පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි වල. පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි මේ වෙනකං උත්තිය රජතුමාත් ඒ රතුමාගෙ අනුප්‍රාප්තික‍යො කීප දෙනෙකුත් විතරයි භාවිත‍ා කරල තියෙන්නෙ. ඊට පස්සෙ ඉතිං ලිය‍වෙච්ච ලිපි ලියල තියෙන්නෙ අපර බ්‍රාහ්මී අක්ෂර වලින්. දැං වැදගත් ම කතාව මේකයි. අපේ සමහර උදවිය මන්න මේ වගේ සෙල්ලිපි පාඨ කීපයක් දාලා රාවණා රජතුමා ව සාධාරණීකරණය කරනවා.
                
                       "හන මකර මහඣක පුත ගොනස ලෙනෙ."
                        (සේනාපති මකරගේ පුත් ගෝනසගේ පුත් මකරගේ ලෙණයි.)
                                        -අරණ‍ායක අම්බලන්කන්ද-

                        "තණ වඩන ද හක ලෙණෙ."
                       (තණ වඩක / තෘණ බින්දුගේ ලෙණයි.)
                                               -වෙස්සගිරිය-

                        "රාවණ රඣන පුත ඉඣු ලෙනෙ."
                        (රාවණා රජුගේ පුත් ඉන්ද්‍රගේ ලෙණයි.)
                                            -අරණායක ර‍ාක්ෂගල-
                                
                                                                   මම කලින් ම කියපු සෙල් ලිපියේ මකර කියල කෙනෙක් ගැන තියෙන්නෙ ඒ  රාවණා රජතුමාගෙ සේනාපති කියන‍වනෙ. රාවණා රජතුමාගෙ සේනාපති මකර තමා. ඒත් මෙහෙම දෙයක් අපිට එක පාරම පිළිගන්න බෑ නේද? මොකද පස්සෙ කාලෙ ඇති තරම් මකර කියලා සෙන්පතිවරු ඉන්න පුළුවන්නෙ. හරියට කාළිදාස වගේ ගොඩක් අය ඉන්දිය‍ාවෙ හිටියා වගේ. දෙවෙනි ලිපියේ කියන්නෙ තෘණ බින්දු කියල කෙනෙක් ගැත. ඒ රාවණා රජතුමාගෙ සීයළු. නම විතරක් අරං මේ විදියට කියන එක සාධාරණ නෑනෙ.හැබැයි තුන්වෙනි ලිපියෙ ටිකක් තියෙන ඒවා බැළුෑ බැල්මට පිළිගන්න වෙන හැඩයක් තියෙන්නෙ. හැබැයි ඒත් ඒක එහෙම නෙවෙයි. මොකද පස්සෙ කාලෙ රාමායනය කියපු කෙනෙක් හරි බැරි කමක් නෑ මේ විදියෙ ලිපියක් කොටවන්න. එහෙමත් නැතිනම් ප්‍රාදේශීය පාළකයෙක්ගෙ පුතෙක් මේක කෙටෙව්වා වෙන්නත් බැරි නැහැ. ඒත් මේ වෙනකං තහවුරු කරගත්ත පුරාවිද්‍යා සාක්ෂි රාවණා චරිතය සම්බන්ධයෙන් නම් නැහැ.
                     මට තව දෙයක් කියන්න ඕනෙ. අපි කියන කතාවක්නෙ මහින්දාගමනයත් එක්ක අක්ෂර මාලාවක් ආවා කියන එක. ඒකත් බොරු කරන්න පුළුවන් සාක්ෂි නම් ඇති තරම් මට තියෙනවා. ඒත් ඉතිං ක්‍රි.පූ 6 ට එහා නම් යන්නෙ නැහැ. ඒ නිසා රාවණා කාළ‍යේ මෙහෙම අකුරු තිබ්බා කියලා හිතන්න බෑ. ‍දැනට හම්බුවෙලා තියෙන පරණම බ්‍රාහ්මී ලිපිය අයිති උත්තිය රජතුම‍ාට. අනික මේ අවුරුදු දාස් ගාණකට ගොඩක් අපේ අක්ෂර මාලාව වෙනස් වෙලා තියෙනවා. අපි අද පාවිච්චි කරන අකුරු හැදිල තායෙන්නෙ මුල් බ්‍රාහ්මී අක්ෂර වලින්. ඒක මම වෙනම ලිපියකින් කියන්නම්. අනික රාවණා රජතුමා අවුරුදු 5000 කට කළින් හිටියා කියලා හිතුවොත් උත්තිය රජතුමා ලිපි කොටවන්න ‍ඕනෙ අද අපි පාවිච්චි කරන අකුරු වලින්. මෙන්න මේකයි තත්වෙ.
          හැබැයි මෙහෙම එකක් තියෙනවා. පුරාවිද්‍යා සාක්ෂි නැති වුණු තරමට අපිට රාවණා චරිතයක් නැහැ කියන්න කොහොමටවත් බැහැ.ඒ නිසා එහෙම පුද්ගලයෙක් ගැන හොයනකොට ගවේශණය කරන අය පොඩ්ඩක් විමර්ශනශීලී වෙන්න ඕනෙ කියන එකයි මගේ නම් හැගීම.